සෙකරියා 13

13
පවින් පවිත්‍ර වීම
1“ඒ දවසේ දාවිත් වංශිකයින්ට හා යෙරුසලම් වාසීන්ට ඔවුන්ගේ පාප හා දූෂ්‍යතාවලින් පවිත්‍ර වනු පිණිස, උල්පතක් විවර වන්නේ ය.
2“ඒ දවසේ මම, දේව පිළිමවල නාම පවා දේශයෙන් තුරන් කරන්නෙමි. ඉන්පසු කිසිවකුත් ඒවා ගැන සිහිපත් කරනු නැතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “දිවැසිවරුන් ද අපවිත්‍ර ආත්ම ද යන දෙගොල්ල ම මම මේ දේශයෙන් පහ කර දමන්නෙමි. 3යමෙක් තවදුරටත් දිවැසි වැකි කියයි නම්, ඔහු ජනිත කළ ඔහුගේ ම පියා හා මව ඔහු අමතමින්, ‘ස්වාමින්වහන්සේගේ නාමයෙන් නුඹ මුසාව කතා කළ නිසා නුඹ තවත් ජීවත් විය යුතු නැතැ’ යි කියමින්, ඔහු දිවැසි වැකි පවසන කල, ඔහුගේ ම මවු පියන් ඔහුට ඇන, මරා දමනු ඇත.
4“ඒ දවසේ හැම දිවැසිවරයකු ම තමාගේ අනාවැකි දර්ශනය ගැන ලජ්ජා වනු ඇත. ලෝමයෙන් කළ දිවැසිවර වස්ත්‍ර, ඔහු රැවටිලිකාරී ව අඳින්නේ ද නැත. 5තවද ඔහු, ‘මා දිවැසිවරයෙක් නො වේ. මම ගොවියෙක්මි. ගැටවර වියේ සිට ම මගේ ජීවිකාව වූයේ බිම වගා කිරීම යැ’ යි කියනු ඇත. 6‘ඔබේ ඇඟේ ඇති ඔය තුවාල කැළැල් මොනවා දැ?’ යි එවිට යමකු ඔහුගෙන් ඇසුවහොත්, ‘මේවා මගේ මිතුරන්ගේ ගෙදරදී මා ලද තුවාල යැ’ යි ඔහු පිළිතුරු දෙනු ඇත.
එඬේරාට පහර දීම
7“එම්බා අසිපත, මගේ එඬේරාට එරෙහිව,
මට සමීප මිනිසාට එරෙහිව නැගිටිනු!” යි
සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“එඬේරාට පහර දෙනු;
එවිට බැටළුවෝ විසුරුවනු ලබති.
එවිට කුඩාවුන්ට එරෙහිව මම මගේ අත හරවන්නෙමි.
8මුළු දේශයෙන් ම තුනෙන් දෙකොටසක් ගසා හෙළා, වනසා දමනු ඇත.
එහෙත්, තුනෙන් කොටසක් ඒ තුළ ඉතිරි කෙරෙනු ඇතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
9“මෙම තුනෙන් කොටස, මම ගිනි මැදින් ගෙනෙන්නෙමි.
රිදී පවිත්‍ර කරන්නා සේ මම ඔවුන් පවිත්‍ර කරන්නෙමි.
රන් පරීක්ෂා කරන්නා සේ මම ඔවුන් පරීක්ෂා කරන්නෙමි.
ඔවුන් මගේ නාමයට යාච්ඤා කරනු ඇත.
මම ද ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි.
‘මගේ ජනතාව ඔවුන් යැ’ යි මම ඔවුන්ට කියමි.
ස්වාමින්වහන්සේ මගේ දෙවියන්වහන්සේ’ යැයි ඔවුන් ද කියනු ඇත.”

Märk

Dela

Jämför

Kopiera

None

Vill du ha dina höjdpunkter sparade på alla dina enheter? Registrera dig eller logga in