මතෙව් 2
2
පෙරදිග පඬිවරු
1හෙරෝද් රජුගේ කාලයේ, යුදයේ බෙත්ලෙහෙමේ යේසුස්වහන්සේ උපන් පසු, මෙන්න! පෙරදිග සිට පඬිවරු යෙරුසලමට පැමිණ, 2“යුදෙව්වරුන්ගේ රජ ව උපන් තැනැත්තේ කොහේ ද? මන්ද එතුමාණන්ගේ තරුව නැගෙනහිරින් දැක, අප මේ ආවේ එතුමාණන්ට නමස්කාර කරන්නට යැ” යි කීහ.
3ඒ ඇසූ හෙරෝද් රජු ද ඔහු සමඟ මුළු යෙරුසලම ද කැලඹිණි. 4ජනයාගේ නායක පූජක සියල්ලන් හා දහම් පඬිවරුන් රැස් කර වූ ඔහු, ක්‍රිස්තුස්වහන්සේ කොතැන්හි උපදින්නට නියමිතදැයි ඔවුන්ගෙන් විමසී ය. 5ඔවුහු පිළිතුරු දෙමින්, “යුදයේ බෙත්ලෙහෙමෙදීයි. මන්ද දිවැසිවරයා ලියා තිබෙන්නේ:
6“ ‘එම්බා, යූදා දේශයේ බෙත්ලෙහෙම,
යූදාහි අධිපතීන් අතර නුඹ කිසි සේත් සුළු වන්නේ නැත;
මන්ද මගේ ජනයා වූ ඉශ්‍රායෙල්ගේ එඬේරාණන් වන පාලකයෙක්
නුඹගෙන් නික්ම එනු ඇත’#2:6 මීකා 5;2
කියා යැ” යි කීහ.
7ඉන්පසු හෙරෝද්, පෙරදිග පඬිවරුන් රහසේ තමා වෙත කැඳවා, ඔවුනට තරුව පෙනුණ හරි කාලය සොයා දැනගත්තේ ය. 8ඔහු බෙත්ලෙහෙමට ඔවුන් පිටත් කර යවමින්, “ගොස් මනා විපරමින් දරුවා ගැන සොයා බලන්න. ඔබට ඔහු හමු වූ විට, මා ද ගොස්, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ඇවිත්, මට දන්වන්නැ” යි කීවේ ය.
9රජු කී දෑ ඇසූ පසු ඔවුහු යළි තම ගමන ඇරඹූහ. එකල මෙන්න! නැගී තිබෙනවා ඔවුන් දැක තිබූ තරුව දරුවා සිටි තැන දක්වා ඔවුන්ට පෙරටුව ගොස්, එතැන නැවතුණේ ය. 10තරුව දුටු ඔවුහු මහා ප්‍රීතියකින් උද්දාමයට පත් වූහ. 11නිවසට ඇතුළු වූ ඔවුහු දරුවාත්, ඔහුගේ මවු වූ මරියාත් දැක, වැඳ වැටී උන්වහන්සේට නමස්කාර කළහ. ඉන්පසු තම කරඬු ඇර, රන් ද කට්ටකුමංජල් ද සුවඳලාටු ද යන ත්‍යාග උන්වහන්සේට පිළිගැන් වූහ. 12හෙරෝද් වෙත ආපසු නො යන ලෙස සිහිනයක් මගින් අවවාද ලද ඔවුන්, ආපසු තම රට බලා ගියේ වෙනත් මගකිනි.
ඊජිප්තුවට පලා යෑම
13ඔවුන් නික්ම ගිය පසු, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිහිනෙන් යෝසෙප්ට පෙනී, “නැගිටින්න; දරුවාත්, ඔහුගේ මවත් රැගෙන, ඊජිප්තුවට පලා ගොස්, මා නැවත දන්වන තුරු එහි නැවතී සිටින්න; මන්ද හෙරෝද් දරුවා මරා දමන්නට සොයනවා ඇතැ” යි කීවේ ය.
14එකල යෝසෙප් නැගිට දරුවාත්, ඔහුගේ මවත් ගෙන, රැයේ ම පිටත් ව, ඊජිප්තුවට ගොස්, 15හෙරෝද්ගේ මරණය දක්වා එහි නැවතී සිටියේ ය. මෙසේ වූයේ, ස්වාමින්වහන්සේ දිවැසිවරයා මගින් පැවසූ, “මගේ පුතණුවන් ඊජිප්තුවෙන් කැඳවා ගතිමි” යි#2:15 හොෂෙයා 11;1 යන්න සැබෑ වන පිණිස ය.
16පෙරදිග පඬිවරු තමාට ප්‍රයෝගයක් කර ඇති වග දැක, දැඩි කෝපයට පත් හෙරෝද්, එම පඬිවරුන්ගෙන් දැනගත් කාලසීමාවට අනුව, බෙත්ලෙහෙම හා ඒ අවට පළාත්වල වයසින් අවුරුදු දෙකක් වූත්, ඊට අඩු වූත් සියලු පිරිමි දරුවන් මරා දමන්නට මිනිසුන් යැවී ය. 17මෙසේ දිවැසිවර යෙරමියා පවසා තිබූ මෙම අනාවැකිය ඉටු විණි:
18“වැලපීමක, මහා විලාපයක හඬක්,
රාමාහි ඇසිණ,
රාඛෙල් ඇගේ දරුවන් ගැන වැලපෙන්නී,
තවත් උන් නැති නිසා,
සැනසෙන්නට නො කැමති වූවා ය.”#2:18 යෙරමි 31;15
ආපසු නාසරෙත්ට ඒම
19හෙරෝද්ගේ මරණින් පසු, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් ඊජිප්තුවේදී යෝසෙප්ට සිහිනයකින් පෙනී, 20“නැගිට, දරුවාත්, ඔහුගේ මවත් කැඳවාගෙන, ඉශ්‍රායෙල් දේශයට යන්න; මන්ද දරුවාගේ ජීවිතය නසන්නට සෙවූ අය මැරිලා” යි කීවේ ය.
21එවිට ඔහු නැගිට, දරුවාත් ඔහුගේ මවත් කැඳවාගෙන, ඉශ්‍රායෙල් දේශයට ගියේ ය. 22එහෙත් හෙරෝද්ගේ පුත් අර්කෙලාවුස් සිය පියාගේ තැන ගෙන යුදයේ රජකම් කරන බැව් අසා, එහි යෑමට බිය වූ ඔහු සිහිනයකින් අවවාද ලැබ, ගලීල පළාතට අහක් ව ගොස්, 23නාසරෙත් නම් වූ නුවරකට පැමිණ, එහි පදිංචි විය. “උන්වහන්සේ නාසරීයයෙකැයි අමතනු ලබනු ඇත” යනුවෙන් දිවැසිවරුන් මගින් කී කීම මෙසේ ඉටු විය.
Nu markerat:
මතෙව් 2: SCV
Märk
Dela
Jämför
Kopiera
Vill du ha dina höjdpunkter sparade på alla dina enheter? Registrera dig eller logga in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.