මලාකී 1
1
1දිව්‍ය ප්‍රකාශනයකි: මලාකී#1:1 මලාකී හෙවත් මගේ පණිවුඩකරු මගින් ඉශ්‍රායෙල් වෙත වූ ස්වාමින්වහන්සේගේ වචනයයි.
යාකොබ් හා ඒසව් ගැන
2“මම ඔබට ප්‍රේම කළෙමි” යි ස්වාමින්වහන්සේ කියන සේක.
“එහෙත්, ඔබ අසන්නේ, ‘ඔබවහන්සේ කෙලෙස අපට ප්‍රේම කළ සේක් ද?’ කියා ය.
“ඒසව්, යාකොබ්ගේ සහෝදරයා නො වී දැ?” යි ස්වාමින්වහන්සේ පවසන සේක. “එනමුදු මම යාකොබ්ට ප්‍රේම කළෙමි; 3එහෙත් මම ඒසව්ට ද්වේෂ කළෙමි. මම ඔහුගේ කඳු පළාත පාළුවක් කළෙමි. ඔහුගේ උරුමය ද කාන්තාර සිවලුන්ගේ වාසයට අත් හැරියෙමි.”
4“අප පොඩි පට්ටම් කර දමනු ලැබුවත්, ජරාවාස වූ දේ අපි යළි ගොඩ නගන්නෙමු” යි ඒදොම් කියන්නට පුළුවන.
එහෙත් සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔවුන් ගොඩ නගනු ඇත. එහෙත් මම බිඳ හෙළන්නෙමි. ඔවුන් අමතනු ලබනු ඇත්තේ, දුෂ්ටකමේ දේශය ය; ස්වාමින්වහන්සේගේ උදහස සදහට ම දරන ජාතියක් ය” යනුවෙනි. 5ඔබේ ම ඇස්වලින් ඔබ එය දකිනු ඇත. “ඉශ්‍රායෙල් සීමාවලින් ඔබ්බෙහි ද ස්වාමින්වහන්සේ උතුම් යැ” යි එවිට ඔබ කියනු ඇත.
දූෂිත පූජා මගින් කඩ කළ ගිවිසුම
6“පුතෙක් තම පියාට ගෞරව කරයි. සේවකයෙක් තම ස්වාමියාට ගෞරව කරයි.
“එසේ නම්, මගේ නාමය නීච කොට සලකන එම්බා පූජකයිනි, මා පියකු නම්, මට ලැබිය යුතු ගෞරවය කොහේ ද? මා ස්වාමියකු නම්, මට ලැබිය යුතු ගෞරවය කොහේ දැ?” යි සේනාංකවල ස්වාමින්වහන්සේ අසන සේක.
“එහෙත් ‘ඔබගේ නාමය අප නීච කොට සැලකූයේ කෙලෙසක දැ?’ යි නුඹලා අසති.
7“දූෂිත ආහාර පූජා මගේ පූජාසනය මත ඔප්පු කිරීමෙනි.
“එහෙත්, ‘අපි කෙලෙස ඔබ දූෂ්‍ය කළෙමු දැ?’ යි නුඹලා අසති.
“ස්වාමින්වහන්සේගේ පූජා මේසය නීච යැයි කීමෙනි. 8යාග පූජාවලට නුඹලා අන්ධ සතුන් ගෙන එන කල, එය නපුරක් නො වන්නේ ද? කොර සතකු හෝ ලෙඩ සතකු හෝ නුඹලා යාග කරන කල, එය නපුරක් නො වන්නේ ද? එවැනි සතුන් ඔබේ ආණ්ඩුකාරයාට පිළිගන්වා බලන්න! ඔහු ඔබ ගැන ප්‍රසන්න වේ ද? ඔහු ඔබ පිළිගනීවි දැ?” යි සේනාංකවල ස්වාමින්වහන්සේ අසන සේක.
9“දැන්, ‘අපට දයා වුව මැනව’ යි දෙවියන්වහන්සේගේ කරුණාව අයදින්න. නුඹලා අතින් ඔබඳු පූජා සහිත ව උන්වහන්සේ නුඹලා පිළිගන්නා සේක් දැ?” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
10“අහෝ! මගේ පූජාසනය පිට කමකට නැති ගිනි නො දල්වන ලෙස, නුඹලාගෙන් කෙනකු දොරටු වසා දමන්නේ නම් යහපත! නුඹලා සමඟ මගේ කිසි ප්‍රසන්නතාවක් නැතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “නුඹලාගේ අත්වලින් මම කිසි පූජාවක් ද නො පිළිගන්නෙමි. 11හිරු නැගෙනා සීමාන්තයේ පටන් හිරු බස්නා සීමාන්තය දක්වා ජාතීන් අතරේ මගේ නාමය උතුම් වන්නේ ය. සෑම තැන්හි ම සුගන්ධ ධූම හා පවිත්‍ර පුද පූජා මගේ නාමයට පුදනු ලබන්නේ ය. මන්ද ජාතීන් අතරෙහි මගේ නාමය උතුම් වන්නේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
12“එහෙත් නුඹලා ස්වාමින්ගේ මේසය, ‘එය දූෂිත ය’ කියා ද ඒ මත වන ආහාර වන පලතුරු, ‘ඒවා නීච ය’ කියා ද කීමෙන් නුඹලා ඒ නාමය කෙලෙසති. 13තවද ‘මේක හරි වෙහෙසකාරී ය’ කියමින් නුඹලා ඒ දෙස පිළිකුලෙන් නැහැය හකුළුවති” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
“පැහැරගෙන ආ හෝ කොර වූ හෝ ලෙඩ වූ සතුන් ගෙනවුත්, නුඹලා ඒවා යාග කරන කල, නුඹලාගේ අත්වලින් මා ඒවා පිළිගත යුතු දැ?” යි ස්වාමින්වහන්සේ පවසන සේක. 14“තම බැටළු රංචුවෙහි පිළිගත මනා පිරිමි සතකු සිටියදී ඌ දීමට බාර වී, පසුව කැළැල් සහිත වෙනත් සතකු ස්වාමින්වහන්සේට යාග කරන වංචනිකයාට ශාප වේ! මන්ද මම උත්තම රජ කෙනෙක්මි. මගේ නාමය ද ජාතීන් අතරෙහි ‘ගෞරව ප්‍රණාම ලැබිය යුත්තේ යැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
Nu markerat:
මලාකී 1: SCV
Märk
Dela
Jämför
Kopiera
Vill du ha dina höjdpunkter sparade på alla dina enheter? Registrera dig eller logga in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.