Logo YouVersion
Ikona Hľadať

සෙකරියා 7

7
යුක්තිය හා දයාව
1දාරෙයාවෙෂ්#7:1 දාරෙයාවෙෂ් ග්‍රීක් දාරියුස් රජුගේ හතර වන අවුරුද්දේ නව වන මස, කිස්ලේව් මස හතර වන දා ස්වාමින්වහන්සේගේ වචනය සෙකරියා වෙත පැමිණියේ ය. 2මෙකල බෙතෙල්හි ජනයා, ස්වාමින්වහන්සේට කන්නලව් කරනු පිණිස සරෙසෙර් ද රෙගෙම්-මෙලෙක් ද සමඟ ඔවුන්ගේ මිනිසුන් යවා තිබිණි. 3ඔවුන් යවා තිබුණේ, “මේ සා අවුරුදු ගණනක් කළ පරිද්දෙන් පස් වන මස මා ශෝක වී, උපවාස කළ යුතු දැ?” යි සේනාංකවල ස්වාමින්වහන්සේගේ ගෘහයේ පූජකයින්ගෙන් හා දිවැසිවරුන්ගෙන් අසන පිණිස ය.
4එකල සේනාංකවල ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: 5“දේශයේ සියලු ජනයාගෙන් ද පූජකයින්ගෙන් ද මෙසේ අසන්න: ‘පසුගිය හැත්තෑ වසර පුරා පස් වන හා හත් වන මාසවල ඔබ උපවාස පවත්වා ශෝක වූ කල, සැබවින් ම ඔබ එසේ උපවාස පැවැත් වූයේ මා උදෙසා ද? 6ඔබ කෑම ගත් කල හා බීම ගත් කල, ඔබ කෑවේත්, බීවේත් ඔබ උදෙසා ම නො වේ ද? 7යෙරුසලම හා ඒ අවට වූ සෙසු නගර සාමය, සෞභාග්‍ය ඇති ව සිටියදී, දකුණු දිසාව හා බටහිර කඳු බෑවුම්#7:7 දකුණු දිසාව හා බටහිර කඳු බෑවුම් හෙබ්‍රෙව් නෙගෙබ් හා ෂෙෆේලා ජනාවාස ව තිබියදී, එකල සිටි දිවැසිවරුන් ලවා ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළ වචනය මෙය ම නො වේ’ ද?”
8 ස්වාමින්වහන්සේගේ වචනය සෙකරියා වෙත පැමිණියේ ය: 9“සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘සැබෑ යුක්තිය ඉටු කරන්න. එකිනෙකාට දයාවත්, කරුණාවත් දක්වන්න. 10වැන්දඹුවනට හෝ පියා නැති අනාථයිනට හෝ විජාතීනට හෝ දුගියනට හෝ පීඩා නො කරන්න. එකිනෙකාට එරෙහිව කූට උපා නො යොදන්න.’
11“එහෙත් ඔවුහු, ඊට අවධානය යොමු කිරීම ප්‍රතික්ෂේප කළහ. මුරණ්ඩුකමින් ඊට පිටුපා, තමන්ගේ කන්වල ඇඟිලි ගසා ගත්හ. 12තමන්ගේ හදවත් ගිනි-ගල් මෙන් දැඩි කර ගත් ඔවුහු, ව්‍යවස්ථාවටත්, සේනාංකවල ස්වාමින්වහන්සේ ස්වකීය ආත්මයාණන් මගින් පෙර සිටි දිවැසිවරුන් ලවා පැවසූ වචනවලටත් සවන් දුන්නේ නැත. එබැවින් සේනාංකවල ස්වාමින්වහන්සේ මහත් සේ උරණ වූ සේක.
13“ ‘මා#7:13 මා හෙබ්‍රෙව් උන්වහන්සේ හඬ ගැසූ කල ඔවුන් සවන් දුන්නේ නැත. එබැවින් ඔවුන් හඬ ගසන කල මමත් සවන් නො දෙන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. 14‘ඔවුන් නො දත්, නො හඳුනන සියලු ජාතීන් අතරට සුළී-සුළඟකින් මම ඔවුන් විසුරුවා හළෙමි. ඔවුන් එය හැරගිය පසු, කිසිවකුටත් ආ-ගිය නො හැකි වන සේ දේශය පාළුවට ම ගියේ ය. ප්‍රිය ප්‍රසන්න දේශය ඔවුන් පාළුවට අත්හළේ එලෙසිනි.’ ”

Aktuálne označené:

සෙකරියා 7: SCV

Zvýraznenie

Zdieľať

Porovnať

Kopírovať

None

Chceš mať svoje zvýraznenia uložené vo všetkých zariadeniach? Zaregistruj sa alebo sa prihlás