Logo YouVersion
Ikona Hľadať

මාර්ක් 4

4
වපුරන්නාගේ උපමාව
1නැවතත් උන්වහන්සේ මුහුද අද්දරදී උගන්වන්නට වූ සේක. විශාල ජනකායක් උන්වහන්සේ වටා රොක්වූයෙන්, උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැග, එහි හිඳගත් අතර, මුළු ජනකාය ම මුහුද අයිනේ වෙරළේ සිටියහ. 2උන්වහන්සේ ඔවුන්ට බොහෝ දෑ ඉගැන්වූයේ උපමා අනුසාරයෙනි. ඔවුන්ට උගන්වමින්, උන්වහන්සේ මෙසේ කී සේක; 3“සවන් දෙන්න! වපුරන්නෙක් බීජ වපුරන්නට පිටත් ව ගියේ ය. 4ඔහු බීජ ඉසිද්දී, ඉන් සමහරක් මග දිගේ වැටිණි. කුරුල්ලෝ ඇවිත් ඒවා කා දැමූහ. 5සමහරක් එතරම් පස් නො තිබූ ගල් බිමේ වැටිණි. පස් නො ගැඹුරු බැවින්, ඒවා ඉක්මනින් පැළවිණි. 6එහෙත් හිරු නැගුණ කල, ඒවා කරවී, මුල් නොමැතිකමින් වියළී ගියේ ය. 7තවත් බීජ, කටු පඳුරු අතරේ වැටිණි. කටු පැළ වැඩී ඒවා යට කර දැමී ය. එබැවින් ඒවා පල දැරුවේ නැත. 8සෙසු බීජ සරු බිමෙහි වැටිණි; ඒවා පැළවී, වැඩී, පල දරමින් තිස් ගුණයක්, හැට ගුණයක් හා සිය ගුණයක් බැගින් අස්වනු ඉපද වී ය.”
9එසේ කී උන්වහන්සේ, “කන් ඇත්තා අසත්වා!” යි කී සේක.
10උන්වහන්සේ හුදකලාව සිටියදී, දොළොස් දෙනා සමඟ උන්වහන්සේ වටා සිටි අය, උපමා ගැන උන්වහන්සේගෙන් විමසූහ. 11උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ. එහෙත් පිටස්තර අයට හැම දෙයක් ම දන්වන්නේ උපමා මගිනි. 12මන්ද,
“ ‘නිරතුරු ඔවුන් දකින නමුදු කිසි විටෙක වටහා නො ගන්න පිණිස ය;
නිරතුරු අසන නමුදු කිසි විටෙක තේරුම් නො ගන්න පිණිස ය;
නැතහොත් ඔවුන් හැරී කමාව ලබනු ඇතැ’#4:12 යෙසා 6:9,10 යි”
පැවසූ සේක.
13යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබට මේ උපමාව තේරෙන්නේ නැද්ද? එසේ නම් අනෙක් උපමා ඔබ තේරුම් ගන්නේ කොහොම ද? 14වපුරන්නා වචනය වපුරයි. 15වචනය වැපුරූ තැන්වල ඇතැම් දෙනා මග දිගේ වපුළ වූ බීජ වගෙයි. ඔවුන් ඇසූ කෙණෙහි ම සාතන් ඇවිත් ඔවුන් තුළ වපුරන ලද බීජ පැහැර ගනී. 16ගල් බිමේ වැපුරුණු බීජ වන්නේ වචනය අසා, එක්වර ම එය සතුටින් පිළිගන්නා තැනැත්තා ය. 17එහෙත් මුල් ඇද නො තිබූ බැවින්, ඔවුන් පැවත සිටින්නේ මද කලක් පමණි. වචනය නිසා හිංසා හෝ පීඩා හෝ පැමිණි කෙණෙහි ඔවුහු වැටී යති. 18අනෙක් අය කටු අතරේ වපුළ ඒවායි. ඔවුන් වචනය අසන අයයි; 19එහෙත් මේ ජීවිතයේ කම්කටොලු, ධන සම්පත්වල රැවටිල්ල හා අනිකුත් දේවලට ඇති ආශා ඇතුළු වී, වචනය පොඩිකර දමයි. එහෙයින් ඔවුන් පල දරන්නේ නැත. 20සරු බිමෙහි වපුරන ලද්දවුන් වන්නේ, වචනය අසා, එය පිළිගෙන, තිස් ගුණයකින්, හැට ගුණයකින් හා සිය ගුණයකින් පල දරන අය යැ” යි පැවසූ සේක.
පහන හා පහන් රුක
21උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ පහනක් ගෙනෙන්නේ, එය බඳුනකින් වසා තබන්න ද? නැත්නම් ඇඳක් යට තබන්න ද? පහන් රුක මත තැබීමට නො වේ ද? 22මන්ද අනාවරණ නො කරන්නට සඟවන ලද කිසිවක් නැත; එළියට නො ගෙනෙන ලෙස වසන් කරන කිසිවක් ද නැත. 23අසන්නට කන් ඇත්තේ කවරකුට ද, ඔහු අසත්වා!”
24උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ අසන දෑ ගැන විමසිලිමත් වන්න. ඔබ මනින මිම්මෙන් ම ඔබට ද මැන දෙනු ලැබේ. ඊට වැඩියෙනුත් ඔබට දෙනු ලැබේ. 25ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ” යි කී සේක.
බීජය පැළවීමේ උපමාව
26උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු ය. මිනිහෙක් තම පොළොවේ බීජ ඉසියි; 27ඔහු නිදා සිටිය ද අවදිව සිටිය ද රැයේ හා දහවලේ ඒ බීජ පැළවී, වැඩෙයි. ඒ කෙසේදැයි ඔහු නො දනී. 28පොළොවෙන් ම පල හට ගන්වයි. පළමු ව දළු ද පසුව කරල් ද ඉන්පසුව කරල් පුරා බීජ ද හට ගන්වයි. 29අස්වැන්න පැසුණු වහාම ඔහු ඊට දෑකැත්ත යොදයි. මන්ද අස්වැන්න ඇවිල්ලා” යි පැවසූ සේක.
අබ ඇටයේ උපමාව
30උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමාන කළ හැක්කේ කුමකට ද? ඊට යෙදිය හැකි උපමාව කුමක් ද? 31එය අබ ඇටයකට සමාන ය. පොළොවේ වැපුරූ කල, ලොව බීජ අතර කුඩා ම බීජය එයයි. 32එනමුත් එය සිට වූ පසු වැඩී, එහි සෙවණේ පක්ෂීන්ට කැදලි තැනීමට තරම් විශාල අතු සහිත ව ගෙවතු පැළෑටි අතර විශාලතම පැළෑටිය වේ යැ” යි පැවසූ සේක.
33මේ හා සමාන උපමා බොහොමයක් මගින් ඔවුනට තේරුම් ගත හැකි පමණට උන්වහන්සේ ඔවුනට වචනය පැවසූ සේක. 34උපමාවකින් තොර ව උන්වහන්සේ ඔවුනට කිසිවක් ම පැවසුවේ නැත. එහෙත් ස්වකීය ගෝලයින්ට උන්වහන්සේ පෞද්ගලික ව හැම දෙයක් ම තේරුම් කළ සේක.
චණ්ඩ කුණාටු දමනය
35එදින සවස් වූ කල ඔවුන් ඇමතූ උන්වහන්සේ, “අපි එගොඩට යමු” යි කී සේක. 36සමූහයා එහි සිටියදී, උන්වහන්සේ ඔරුවේ සිටි අයුරින් ම, ඔවුහු තමන් සමඟ උන්වහන්සේ ගෙන ගියහ. තවත් ඔරු ද උන්වහන්සේ සමඟ විය. 37සැඩ කුණාටුවක් හමා ආවේ ය. ඔරුව තුළට දිය පිරී එය ගිලෙන තරමට රැළි නැංගේ ය. 38උන්වහන්සේ ඔරුවේ පසු භාගයේ, මෙට්ටයක් මත නිදා සිටි සේක. ගෝලයෝ උන්වහන්සේ අවදි කරවමින්, “ගුරුතුමනි! අප විනාශ වෙන්නටයි යන්නේ; ඒ ගැන තැකීමක් නැති දැ?” යි උන්වහන්සේට කීහ.
39උන්වහන්සේ නැගිට, සුළඟට තරවටු කොට, “නිහඬ වනු! නිසලවනු!” යි මුහුදු රැළට කී සේක. එවිට සුළඟ නැවතිණ. සියල්ල නිසල විය.
40උන්වහන්සේ ඔවුන් අමතා, “ඔබ ඔය තරම් බය මොකද? තවමත් ඔබට විශ්වාස නැද්දැ?” යි ඇසූ සේක.
41එවිට මහත් බියකින් වෙළුණු ඔවුහු, ඔවුනොවුන් අමතමින්, “මොහු කවරෙක් ද? සුළඟත්, මුහුදත් පවා මොහුට කීකරු වෙතැ!” යි කීහ.

Aktuálne označené:

මාර්ක් 4: SCV

Zvýraznenie

Kopírovať

Porovnať

Zdieľať

None

Chceš mať svoje zvýraznenia uložené vo všetkých zariadeniach? Zaregistruj sa alebo sa prihlás

Video pre මාර්ක් 4