Logo YouVersion
Ikona Hľadať

මාර්ක් 13

13
මතු කාලය පිළිබඳ පෙර නිමිති
1උන්වහන්සේ දේව මාලිගයෙන් නික්ම යද්දී, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙක්, උන්වහන්සේට, “බලන්න ගුරුතුමනි, මොන තරම් අපූරු ගල් ද! මොන තරම් අපූරු ගොඩනැගිලි දැ!” යි කීවේ ය.
2යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ විශාල ගොඩනැගිලි ඔබට පෙනෙනවා නො වේ ද? ගලක් පිට ගලක් නො තිබෙන සේ, හැම එකක් ම බිඳ දමා පොළොවට සමතලා කරනු ඇතැ” යි පැවසූ සේක.
3උන්වහන්සේ දේව මාලිගය ඉදිරියේ ඔලීව කන්දේ වාඩි වී සිටියදී, පේතෘස්, යාකොබ්, යොහන් හා අන්දෘ උන්වහන්සේට පුද්ගලික ව කතා කොට, 4“කියන්න අපට, මේ දේවල් සිදු වන්නේ කවරදා ද? ඒවා ඉටු වීමට යන කල, ඇති වන පෙර නිමිත්ත කුමක් දැ?” යි ඇසූහ.
5යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “කිසිවකු ඔබ මුළා නො කරන ලෙසට වග බලා ගන්න; 6බොහෝ දෙනෙක් මගේ නාමයෙන් අවුත්, ‘උන්වහන්සේ මමයි!’ කියා ගනිමින් බොහෝ දෙනකු මුළා කරනු ඇත. 7යුද්ධ හා යුද්ධ ගැන ආරංචි ඔබට අසන්නට ලැබෙන විට තැති ගන්න එපා. මේ දේවල් සිදු විය යුතුයි; එහෙත් තවමත් අවසානය නො වේ. 8මන්ද ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමිකම්පා ඇති වෙයි; සාගත ද ඇති වෙයි. මේවා ප්‍රසව වේදනාවේ පටන් ගැන්මයි.
9“විමසිල්ලෙන් සිටින්න. ඔවුන් උසාවිවලට ඔබ අල්ලා දෙනු ඇත. සිනගෝගවලදී ඔබට කස පහර දෙනු ඇත. ආණ්ඩුකාරයින් හා රජුන් ඉදිරියේ ඔවුන්ට සාක්ෂිකරුවන් වශයෙන් ඔබ මා උදෙසා පෙනී සිටිනු ඇත. 10තවද පළමු කොට ශුභාරංචිය සියලු ජාතීන්ට ප්‍රකාශ කරනු ලැබිය යුතු ය. 11ඔබ අත්අඩංගුවට ගෙන, විභාගයට ඉදිරිපත් කරන කල, කිව යුත්තේ කුමක් ද යන්න ගැන සිතා කනස්සලු නො වන්න. ඔබ කිව යුතු දෑ ඒ පැයේදී ඔබට දෙනු ලැබේ. මන්ද කතා කරන්නේ ඔබ නො ව, ශුද්ධාත්මයාණන්වහන්සේ ය.
12“සහෝදරයෙක් සහෝදරයකු ද පියා තම දරුවා ද මරණයට පාවා දෙනු ඇත. තවද දරුවන් තම දෙමවුපියනට එරෙහිව නැගිට, ඔවුන් මරණයට පත් කරනු ඇත. 13මගේ නාමය නිසා සැවොම ඔබට වෛර කරනු ඇත. එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිර ව සිටින්නා, ගලවනු ලබනු ඇත.
14“තවද බිහිසුණු පාළු ව ගෙනෙන පිළිකුල, නො සිටිය යුතු තැන සිටගෙන සිටිනු ඔබ දකින කල,#13:14 දානි 9:27;11:31;12;11 (කියවන්නා එය තේරුම් ගනීවා) යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා! 15ගෙයි පියස්සේ සිටින්නා ගෙතුළ ඇති යමක් ගන්නා පිණිස පහළ නො බසිත්වා! 16කෙතෙහි සිටින්නා තම කබාය ගන්නට ආපසු නො ඒවා! 17ගැබිනියනටත්, කිරි දෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය. 18ශීත කාලයේ මෙය නො වන ලෙස යාච්ඤා කරන්න. 19මන්ද ඒ දවස්හි දෙවියන්වහන්සේ මැවූ මැවීම පටන් ගැන්මේ සිට, මේ දක්වා සිදු නො වූ, මින් මතු කවර කලෙක සිදු නො වන විපත්-පීඩාවක් වනු ඇත.
20“ස්වාමින්වහන්සේ ඒ කාලය කෙටි නො කරන ලද්දේ නම්, කිසි කෙනෙක් ඉතිරි නො වන්නේ ය. එහෙත් නියම කර, තෝරාගනු ලැබූවන් උදෙසා ඒ කාලය කෙටි කළ සේක. 21ඒ කාලයේ යමකු කතා කොට, ‘මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙතැන ය; අන්න, උන්වහන්සේ අතැන ය’ කියා පැවසුවත් එය විශ්වාස නො කරන්න. 22මන්ද ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, හැකි නම් තෝරාගනු ලැබූවන් වුව මුළා කරන්නට තරම් වූ හාස්කම් හා අනුහස් ලකුණු දක්වනු ඇත. 23එබැවින් පරෙස්සම් වන්න; මේ සියල්ල කල්තියා මම ඔබට කීවෙමි.
24“එහෙත් ඒ දවස්වල ඒ විපත්තියෙන් පසු,
“ ‘හිරු අඳුරු වනු ඇත,
සඳු ද තම එළිය නො දෙනු ඇත;
25තරු අහසින් කඩා වැටෙනු ඇත.
අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත.’#13:25 යෙසා 13;10;34;4
26“එකල මනුෂ්‍ය පුත්‍රයාණන් මහත් බලයෙන් හා තේජසින් යුක්ත ව වලාකුළු තුළ එනු මනුෂ්‍යයින් දකිනු ඇත. 27තවද උන්වහන්සේ තමන් තෝරා ගත්තවුන් සතර දිගින් ම රැස් කරන පිණිස, පොළෝ සීමාන්තයේ සිට අහස් සීමාන්ත දක්වා ස්වකීය දූතයින් යවන සේක.
28“අත්තික්කා ගසෙන් මේ පාඩම ඉගෙන ගන්න. එහි රිකිලි මෘදු වී, ඒවායේ කොළ ලියලන විට, ගිම්හාන කාලය ළඟා වී ඇති බැව් ඔබ දනිති. 29එලෙස ම මේ දේවල් සිදු වනු දකින කල, උන්වහන්සේ අත ළඟ වග, දොරකඩ ළඟ ම බව දැනගන්න. 30සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දේ සිදුවන තුරු මේ පරම්පරාව පහව නො යන බවයි. 31අහසත් පොළොවත් පහව යනු ඇත. එහෙත් මගේ වචන පහව යන්නේ නැත.
නො දන්නා දිනය සහ පැය
32“ඒ දවස හෝ ඒ පැය ගැන කිසිවකු දන්නේ නැත. පියාණන්වහන්සේ පමණක් මිස, ස්වර්ගයේ දේව දූතයින්වත්, පුත්‍රයාණන්වත් දන්නේ නැත. 33ඒ වෙලාව කොයි වේලේ ඒදෝයි ඔබ නො දන්න බැවින් පරෙස්සම් වන්න! විපරමින් සිටින්න. 34එය, තම මෙහෙකරුවන් එකිනෙකාට නියමිත වැඩ පවරා, අවදිව සිටින ලෙස දොරටුව මුර කරන්නාට අණ දී, සිය නිවසින් පිට වී චාරිකාවක යෙදුණු මිනිසකුට සමාන ය.
35“එහෙයින් අවදියෙන් සිටින්න. මන්ද ගෙදර ස්වාමියා නැවත පැමිණෙන්නේ සවස ද මැදියම් රෑ ද කුකුළා හඬලන වේලාවේ ද හිමිදිරියේදැයි ඔබ නො දනී. 36ඔහු හදිසියේ ම පැමිණ, ඔබ නිදා සිටිනු දකින්නට නො ලැබේවා. 37මම ඔබට කියන දේ ම අන් සියල්ලන්ට ද කියමි: ‘අවදියෙන් සිටින්නැ’ යි” පැවසූ සේක.

Aktuálne označené:

මාර්ක් 13: SCV

Zvýraznenie

Kopírovať

Porovnať

Zdieľať

None

Chceš mať svoje zvýraznenia uložené vo všetkých zariadeniach? Zaregistruj sa alebo sa prihlás