විනිසුරුවෝ 4

4
දෙබොරා
1ඒහුද් මිය ගිය පසු, ඉශ්‍රායෙල්වරු යළිත් ස්වාමින්වහන්සේ හමුවේ දුෂ්ටකම් කළෝ ය. 2එබැවින් ස්වාමින්වහන්සේ හාසොර්හි රජකම් කළ කානාන් රජකු වන යාබීන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ හමුදාපති වූයේ හරොෂෙත්-හග්ගොයිම්හි විසූ සීසෙරා ය. 3ඔහුට යකඩ යුද්ධ රථ නවසියයක් තිබූ බැවින් ද විසි වසරක් ඔහු ඉශ්‍රායෙල්වරුන්ට කුරිරු ව හිංසා-පීඩා කළ බැවින් ද ඉශ්‍රායෙල්වරු පිහිට ඉල්ලා ස්වාමින්වහන්සේට මොර ගැසූහ.
4එකල ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ලප්පීදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වන දෙබොරා ය. 5ඇය අසුන් ගත්තේ එප්‍රායිම් කඳු රටේ රාමා හා බෙතෙල් අතර පිහිටි දෙබොරාගේ ඉඳිගහ යට ය. ඉශ්‍රායෙල්වරු විනිශ්චය ලබන පිණිස ඇය වෙත ආහ. 6නෆ්තලීහි කෙදෙෂ් වෙතින් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා යැවූ ඈ, ඔහු අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට මෙසේ අණ කරන සේක: ‘යන්න, නෆ්තලී හා සාබුලොන් ජනයාගෙන් දස දහසක් කැඳවාගෙන, තාබෝර් කන්දට යන්න. 7යාබීන්ගේ හමුදාවේ ආඥාපති වන සීසෙරා සමඟ ඔහුගේ යුද්ධ රථත්, ඔහුගේ හේවායිනුත් කීෂොන් ගඟ ළඟට මම ඔබ වෙත පමුණු වන්නෙමි. මම ඔබගේ අත්වලට ඔහු හසුකර දෙන්නෙමි’ කියන සේකැ” යි කීවා ය.
8බාරාක් ඇයට පිළිතුරු දෙමින්, “ඔබ, මා සමඟ යනවා නම් මම යන්නෙමි. එහෙත් ඔබ මා සමඟ යන්නේ නැති නම් මාත් යන්නේ නැතැ” යි කී ය.
9ඈ කතා කරමින්, “සත්තකින් ම මම ඔබ සමඟ යන්නෙමි. එහෙත් ඔබ ගමනේ යන මේ මාර්ගය දිවෙන්නේ ඔබේ ගෞරවය දෙසට නො වේ. මන්ද ස්වාමින්වහන්සේ ස්ත්‍රියකට සීසෙරා පාවා දෙනු ඇතැ” යි කීවා ය. ඉන්පසු දෙබොරා නැගිට, බාරාක් සමඟ කෙදෙෂ් බලා ගියා ය. 10බාරාක්, සාබුලොන් ද නෆ්තලී ද කෙදෙෂ් වෙත එක් රැස් කරවී ය. දස දහසක් රණවිරුවන් ඔහු පසු පස ගියහ. දෙබොරා ද ඔහු සමඟ ගියා ය.
11මෙකල කේනීය හෙබෙර්, මෝසෙස්ගේ මස්සිනා වූ හොබාබ්ගෙන් පැවත එන සෙසු කේනිවරුන්ගෙන් වෙන් ව, කෙදෙෂ් අසල සානන්නීම්හි ආලෝන් වෘක්ෂය ළඟ තම කඳවුර බැඳ සිටියේ ය.
12අබිනොවම්ගේ පුත් බාරාක්, තාබෝර් කන්දට නැගී ගිය වග සීසෙරාට දන්වන ලදින්, 13සීසෙරා තමාගේ යකඩ යුද්ධ රථ නවසියය ද තමා සමඟ සිටි සියලු මිනිසුන් ද හරොෂෙත්-හග්ගොයිම්හි සිට කීෂොන් ගඟ වෙත එක් රැස් කළේ ය.
14දෙබොරා, බාරාක් අමතමින්, “නැගිටින්න! ස්වාමින්වහන්සේ ඔබ අතට සීසෙරා යටත් කර දුන් දවස අදයි. මෙන්න! ස්වාමින්වහන්සේ ඔබට පෙරටුවෙන් ගමන් ගත්තා නො වේ දැ?” යි කීවා ය. එවිට බාරාක්, දස දහසක් දෙනකු ඔහු පසුපසින් යද්දී, තාබෝර් කන්දෙන් බසින්නට වන්නේ ය. 15බාරාක් පෙරට යත් ම, ස්වාමින්වහන්සේ සීසෙරා ද ඔහුගේ සියලු යුද්ධ රථ හා මුළු හමුදාව ද කඩු මුවහතින් කලඹා, පලවා හළ සේක. සීසෙරා තම යුද්ධ රථයෙන් බැස, පයින් ම පලා ගියේ ය.
16එහෙත් බාරාක්, හරොෂෙත්-හග්ගොයිම් දක්වා යුද්ධ රථ හා සතුරු හමුදාව ලුහුබැන්දේ ය. සීසෙරාගේ මුළු හේවාපන්නය ම කඩු මුවහතින් වැටී ගියේ ය. එකකුදු ඉතිරි වූයේ නැත. 17කෙසේ හෝ සීසෙරා, කේනීය හෙබෙර්ගේ බිරිඳ වූ යායෙල්ගේ කූඩාරමට පයින් ම පලා ආවේ ය. මන්ද, හාසොර්හි රජු වූ යාබීන් ද කේනීය හෙබෙර්ගේ පෙළපත ද අතරේ සාමය පැවතිණ.
18යායෙල්, සීසෙරා හමුවට පිටතට ගොස්, “ඇතුළට එනු මැනව මා ස්වාමිනි, මා වෙත එනු මැනව. භය නො වන්නැ” යි කීවා ය. එබැවින් සීසෙරා ඇය වෙත හැරී, කූඩාරම තුළට පිවිසියේ ය. ඈ පලසකින් ඔහු වැසුවා ය.
19ඔහු ඇය අමතමින්, “මට පිපාසයි; කරුණාකර වතුර ඩිංගක් දෙන්නැ” යි ඉල්ලී ය. ඈ, කිරි බඳුනක් ඇර, එයින් ඔහුට බොන්නට දී, යළි ඔහු ආවරණ කළා ය.
20ඔහු ඇය අමතමින්, “කූඩාරම් දොරකඩ සිටගන්න. යමකු අවුත්, ‘කවුරු හෝ මෙහි සිටිත් දැ?’ යි ඇසුවහොත් ‘නැත’ කියා කියන්නැ” යි කී ය.
21එහෙත්, හෙබෙර්ගේ බිරිඳ වූ යායෙල්, කූඩාරම් කූංඤයක් ද මිටියක් ද අතින් ගෙන, හීන් සීරුවේ ඔහු අසලට ගියා ය. දැඩි වෙහෙසට පත් ව සිටි ඔහු, තද නින්දට වැටී සිටියේ ය. ඈ, කූංඤය ඔහුගේ නළල් කෙළවර පසාරු කර ගෙන, පොළොවට වැදී යන සේ ගැසුවා ය. ඔහු මළේ ය.
22මේ අතර මෙන්න! බාරාක්, සීසෙරා ලුහුබැඳ එමින් සිටියදී ඔහු හමුවට පිටතට ගිය යායෙල්, ඔහු අමතමින්, “එන්න! ඔබ සොයා යන මිනිසා මම ඔබට පෙන්වන්නම්” යි කීවා ය. එබැවින් ඔහු ඇය සමඟ කූඩාරම තුළට ගියේ ය. නළලේ වූ කූඩාරම් කූංඤය සහිත ව සීසෙරා එතුළ මැරී, වැතිර සිටියේ ය.
23ඒ දවසේ දෙවියන්වහන්සේ, කානාන්හි රජු වූ යාබීන් ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේ යටත් කළ සේක. 24කානාන්හි රජු වූ යාබීන් විනාශ කර දමන තෙක් ම, ඉශ්‍රායෙල්වරුන්ගේ හස්තය ඔහුට එරෙහිව වඩ වඩා බලයෙන් වැඩුණේ ය.

දැනට තෝරාගෙන ඇත:

විනිසුරුවෝ 4: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න