විනිසුරුවෝ 5

5
දෙබොරාගේ ගීය
1ඒ දවසේ දෙබොරා හා අබිනොවම්ගේ පුත් බාරාක් මෙසේ ගායනා කළහ.
2“ඉශ්‍රායෙල්හි නායකයින් පෙරමුණ ගත් කල,
ජනයා කැමැත්තෙන් ම ඉදිරිපත් වූ කල,
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්!
3“රජවරුනි මේ අහන්න! පාලකයිනි සවන් දෙන්න!
ස්වාමින්වහන්සේට මම එසේය, මම ගයන්නෙමි!
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මම මධුර ස්වර නගන්නෙමි.
4“අහෝ ස්වාමින්වහන්ස, ඔබ සේයිර් වෙතින් පිටත් ව ගිය කල,
ඒදොම් පෙදෙසේ සිට ගමනේ යෙදුන කල,
පොළොව සලිත විණ. අහස වැගිරිණ.
වලාකුළින් ජලය කඩා හැලිණ.
5සීනයිහි තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියෙහි,
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියෙහි කඳු හෙල්ලුම් කැවිණ.
6“අනාත්ගේ පුත් ෂම්ගර්ගේ දවස්වල
යායෙල්ගේ දවස්වල මහ මාවත පාළුවට යැවිණ.
ගමන් ගන්නන් ගියේ අතුරු පාරවලිනි.
7ඉශ්‍රායෙල් ගැමි ජන ජීවිත නැවතිණ.
මා නැගිටින තෙක් ඔවුන් නැවතිණ.
දෙබොරා වන මා ඉශ්‍රායෙල් මවක ව, නැගිටින තෙක්, නැවතිණ.
8නව දෙවිවරුන් තෝරා ගැනුණු කල,
යුද්ධය, නගර දොරටුව අබියස ය.
එහෙත්, ඉශ්‍රායෙල්හි හතළිස් දහසක් අතරේ
පලිහක් හෝ හෙල්ලයක් දක්නට වූයේ නැත.
9මගේ හදවත ඉශ්‍රායෙල් සෙන්පතීන් වෙත,
ජනයා අතරින් කැමැත්තෙන් ම ඉදිරිපත් වූ අය වෙත යයි.
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්!
10“අනගි සැඳෑල මත හිඳ,
සුදු බූරු දෙනුන් පිට නැග යන ඔබත්,
මාවත් ඔස්සේ ඇවිද යන ඔබත් ඒ ගැන කියන්න.
11ජලාශ්‍රිත තැන්හි සංගීතකරුවන්ගේ නාදයට
ස්වාමින්වහන්සේගේ ජයග්‍රහණ ඔවුහු යළි පවසති;
ඒ ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ ගැමි ජනයාගේ ජයග්‍රහණයන් ය.
“එකල ස්වාමින්වහන්සේගේ ජනයා
නගර දොරටු වෙත සක්මනේ ගියහ.
12‘පිබිදෙන්න දෙබොරා, පිබිදෙන්න!
පිබිදෙන්න, පිබිද ගීයක් ගයන්න!
එම්බා බාරාක්, නැගී සිටින්න,
එම්බා අබිනොවම්ගේ පුත්‍රය, නැගිට ඔබ අල්ලාගත්තවුන් රැගෙන යන්න.’
13“අධිපතීන්ගෙන් ඉතිරි ව සිටියෝ, එකල පෙරට ගමන් ගත්හ.
ස්වාමින්වහන්සේගේ ජනයා බලවතුනට එරෙහිව මා උදෙසා පෙරට ආහ.
14එප්‍රායිම් වෙතින් ඔවුහු තැනිතලාවට#5:14 තැනිතලාවට ග්‍රීක් පරිවර්තනයෙනි හෙබ්‍රෙව් අමලෙක්හි මුල් ඇති අය ලෙස සඳහන් වේ. ගමන් ගත්හ.
ඔබ සමඟ ආ ඔබේ නෑයින් සමඟ බෙන්යමින් ද විය.
මාකීර් වෙතින් පෙරට ආවේ සෙන්පතීන් ය.
සාබුලොන් වෙතින් අණ දෙන්නාගේ මුගුර දරන්නන් ය.
15ඉස්සාකර් අධිපතීහු දෙබොරා සමඟ ආහ.
ඉස්සාකර්, බාරාක්ට විශ්වාසී ව
ඔහු පස්සේ තැනිතලාව තුළට කඩා වැදිණි.
රූබෙන් පෙළපත් අතරේ
බලවත් හද විමැසුම් ඇති විණ.
16බැටළු රංචුවලට පිඹින නළා හඬ අසන්නට,
බැටළු ගාල් අතරේ ඔබ රැඳී සිටියේ ඇයි?
රූබෙන් පෙළපත් අතරේ
බලවත් හද විමැසුම් ඇති විණ.
17ගිලියාද්, යොර්දානෙන් එගොඩ නැවතී සිටියේ ය.
එහෙත් දාන්, ඔහු නැව් සමඟ රැඳී සිටියේ ඇයි?
මුහුදු වෙරළේ නිසොල්මනේ සිටි ආෂෙර්
තම වරායවල නැවතුණේ ය.
18සාබුලොන්, තම ජීවිත පවා පරදුවට තැබූ ජනතාවකි.
යුද බිමේ උස් තැන්හි දී නෆ්තලී කළේ ද එය ම ය.
19“රජවරු ආහ; ඔවුහු යුද්ධ කළහ.
කානාන් රජවරු සටන් වැදුණහ;
තානක්හි, මෙගිද්දෝ ජලය ළඟදී.
එහෙත් ඔවුන් රිදී කොල්ලය ගෙන ගියේ නැත.
20තරු අහසේ සිට සටන් වැදුණි.
තම සීමා පථවල සීසෙරාට එරෙහිව සටන් වැදිණි.
21කීෂොන් ජල ප්‍රවාහය, ඒ ඉපැරණි ජල ප්‍රවාහය,
කීෂොන් ජල ප්‍රවාහය ඔවුන් ඉවත ගසා ගෙන ගියා ය.
පෙරට යන්න මගේ ජීවය, වික්‍රමාන්විත ව.
22එවිට අශ්ව-කුර හඬ, හෙණ හඬ නගමින්,
ජව වේගයෙන්, පැන පැන පිම්මේ දුව යයි.
23‘මේරොස්ට ශාප කරන්නැ’ යි ස්වාමින්වහන්සේගේ දූතයා පවසයි.
‘එහි ජනයාට තදින් ම ශාප කරන්න.
මන්ද, ස්වාමින්වහන්සේගේ උදව්වට, බලවතුනට එරෙහිව වූ
ස්වාමින්වහන්සේගේ උදව්වට ඔවුන් ආවේ නැත.’
24“කාන්තාවන්ගෙන් වඩාත් ම ආශිර්වාද ලද්දිය වන්නේ යායෙල් ය.
කේනීය හෙබෙර්ගේ බිරිඳ වූ ඈ තොමෝ,
කූඩාරම් වාසී වනිතාවන්ගෙන් වඩාත් ආශිර්වාද ලද්දී ය.
25ඔහු වතුර ඉල්ලී ය. ඈ ඔහුට කිරි බොන්නට දුන්නා ය.
වංශවතුනට සරිලන බඳුනක ලා, ඈ ඔහුට දී-කිරි ගෙනාවා ය.
26ඇගේ අත කූඩාරම් කූංඤයක් වෙතට,
ඇගේ දකුණත කම්කරු මිටිය වෙතට දිගුවිණ.
ඈ සීසෙරාට ඇන්නා ය. ඔහුගේ හිස පොඩි කළා ය.
ඈ ඔහුගේ නළල බිඳ, සිදුරු කළා ය.
27ඇගේ පාමුල ඔහු යටවිණි.
ඔහු වැටිණ. ඔහු බිම හෙවිණ.
ඇගේ පාමුල ඔහු යට විණ. ඔහු වැටිණ.
ඔහු යට වූ තැන ම, වැටී මැරිණි.
28“සීසෙරාගේ මව කවුළුව තුළින් එබී බලන්නී,
ගරාදි අතරින් සිට මොර හඬ දුන්නී ය.
‘ඔහුගේ යුද්ධ රථය, මෙතරම් පරක්කු මන්ද?
රථ-අශ්ව කුර හඬ, මෙතරම් සුනංගු මන්ද?’
29කුමාරිකාවන්ගෙන් නැණවත් ම තැනැත්තියෝ, ඇයට පිළිතුරු දුන්හ.
සැබැවි! ඈ යළි යළිත් තමාට ම කියා ගත්තා ය:
30‘ඔවුන් කොල්ලය සොය සොයා, බෙදා ගන්නවා ඇති නේද?
එක් එක් මිනිසාට කෙල්ලක හෝ දෙදෙනක බැගින්,
කොල්ලය ලෙසට සීසෙරාට අලංකාර ඇඳුම්,
වැඩ දැමූ පාට පාට ඇඳුම් හා
මගේ ගෙලට
දෙවරක් වැඩ දැමූ සළු යනාදියයි.’
31“මෙසේ ඔබේ සියලු සතුරන් විනාශ වේවා! අහෝ ස්වාමින්වහන්ස,
එහෙත්, ඔබට ප්‍රේම කරන්නන්,
ස්වකීය ශක්තියෙන් නැග එන සූර්යයා සේ වෙත්වා!”
ඉන්පසු හතළිස් අවුරුද්දක් දේශයෙහි සාමය පැවැත්තේ ය.

දැනට තෝරාගෙන ඇත:

විනිසුරුවෝ 5: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න