විනිසුරුවෝ 3
3
1කානාන්හි දී කිසි යුද්ධ අත්දැකීමක් නො ලද ඉශ්රායෙල්හි සියලු ඉශ්රායෙල් ජනයා සෝදිසි කරන පිණිස, ස්වාමින්වහන්සේ විසින් ඉතිරි කරන ලද ජාතීන් මොවුහු ය. 2එසේ වූයේ කලින් යුද්ධ අත්දැකීම් නො ලද ඉශ්රායෙල් පරම්පරාවනට යුද්ධ අත්දැකීම දැනගැනීමට ඔවුන් ඊට හුරු කරන පිණිස පමණි. 3ඒ ජාතීහු නම්, පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස් දෙනාත්, කානානිවරු, සීදොන්වරු හා බාල්-හෙර්මොන් කන්දේ පටන් ලෙබෝ-හමාත් දක්වා ඈතට ලෙබනොන් කඳුකරයේ විසූ හිවීවරු වෙති. 4මොවුන් ඉතිරි කරන ලද්දේ ඔවුන්ගේ පියවරුනට මෝසෙස් මගින් ස්වාමින්වහන්සේ දුන් උන්වහන්සේගේ ආඥාවලට ඉශ්රායෙල්වරුන් කීකරු වේ දැයි ඔවුන් සෝදිසි කරන පිණිස ය.
5ඉශ්රායෙල් පුත්‍රයෝ කානානිවරුන් ද හිත්තිවරුන් ද අමෝරිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද යෙබූසිවරුන් ද අතරේ වාසය කළහ; 6ඔවුන්ගේ දූවරුන් තමනට භාර්යාවන් කොට ගත් ඔවුහු තම දූවරුන් ඔවුන්ගේ පුත්‍රයින්ට දුන්හ. තවද ඔවුහු, ඒ ජාතීන්ගේ දෙවිවරුනට මෙහෙ කළහ.
ඔත්නියෙල්
7ඉශ්රායෙල්වරු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළෝ ය. ඔවුහු තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අමතක කර, බාල් දේවතාවුන්ටත්, අෂේරා කණුවලටත් මෙහෙ කරන්නට වන්හ. 8එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය, ඉශ්රායෙල්වරුන්ට එරෙහිව ඇවිළ, වයඹ දිග මෙසපොතාමියාහි#3:8 මෙසපොතාමියාහි එනම් අරාම්-නහරායිම්හි රජු වූ කූෂන්-රිෂාතයිම් අතට උන්වහන්සේ ඔවුන් පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු අට අවුරුද්දක් කූෂන්-රිෂාතයිම්ට මෙහෙ කළහ. 9එහෙත් ඉශ්රායෙල් ජනයා ස්වාමින්වහන්සේට මොර ගැසූ කල, ස්වාමින්වහන්සේ ඔවුනට මිදුම්කරුවකු නැගිටුවා දුන් සේක. ඔහු ඔවුන් ගැලවී ය. ඒ, කාලෙබ්ගේ බාල සහෝදර කෙනස්ගේ පුත් ඔත්නියෙල් ය. 10ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ ඔහු කරා පැමිණි සේක්, ඔහු ඉශ්රායෙල් විනිශ්චය කළේ ය, යුද්ධයට ගියේ ය. ස්වාමින්වහන්සේ අරාම්හි රජු වූ කූෂන්-රිෂාතයිම්, ඔත්නියෙල්ගේ අත්වලට දුන්නෙන්, ඔත්නියෙල් කූෂන්-රිෂාතයිම් පරදා, ජය ගත්තේ ය. 11මෙසේ, දේශය හතළිස් අවුරුද්දක් සාමකාමී ව පැවැත්තේ ය. ඉන්පසු කෙනස්ගේ පුත් ඔත්නියෙල් මියැදුණේ ය.
ඒහුද්
12යළිත් ඉශ්රායෙල් ජනයා ස්වාමින්වහන්සේ හමුවේ දුෂ්ටකම් කළහ. ස්වාමින්වහන්සේ මෝවබ් රජු වූ එග්ලොන්, ඉශ්‍රායෙල්වරුනට එරෙහිව සවිමත් කළ සේක. මන්ද ඔවුන් ස්වාමින්වහන්සේ හමුවේ දුෂ්ටකම් කර තිබූ බැවිනි. 13අම්මොන්වරුන් හා අමලෙක්වරුන් කැටිව පැමිණි ඔහු ඉශ්රායෙල්වරුන්ට පහර දුන්නේ ය. එසේ ඔවුහු ඉඳි ගස් නුවර#3:13 ඉඳි ගස් නුවර එනම් යෙරිකෝව අත්කර ගත්හ. 14ඉශ්රායෙල් ජනයා මෝවබ් රජු වූ එග්ලොන්ට දහඅට අවුරුද්දක් සේවය කළහ.
15ඉශ්රායෙල් ජනයා යළිත් ස්වාමින්වහන්සේට මොරගැසූයෙන්, උන්වහන්සේ ඔවුන්ට මිදුම්කරුවකු නැගිටුවා දුන් සේක. බෙන්යමින් වංශික ගේරාගේ පුත්‍රයා වූ ඔහු, වමත්කරුවකු වූ ඒහුද් ය. ඉශ්රායෙල් ජනයා ඔහු අත මෝවබ් රජු වූ එග්ලොන් වෙත කප්පම් යැවූහ. 16ඒහුද්, රියනක් දිගැති දෙමුවහත් කඩුවක් සාදා ගෙන තිබිණි. ඔහු එය තම ඇඳුමට යටින්, දකුණු කළවයෙහි බැඳ ගත්තේ ය. 17මෙසේ ඔහු, මෝවබ් රජු වූ එග්ලොන් වෙත කප්පම් පිළිගැන්වී ය. එග්ලොන් ඉතා තර මිනිසෙකි. 18කප්පම් පිළිගන්වා නිම වූ පසු, ඒහුද් ඒවා රැගෙන ආ මිනිසුන් පිටත් කර හැරියේ ය. 19ගිල්ගාල් අසල ගල් ප්රතිමාහි දී ආපසු හැරී ආ ඔහු, “අහෝ රජතුමනි, ඔබට කියන්නට රහස් පණිවුඩයක් මට තියේ” යි කී ය.
එවිට, “නිශ්ශබ්ද වනු” යි රජු පැවැසූයෙන්, ඔහුගේ උපස්ථායකයින් සැවොම ඔහු අබියසින් ඉවත් වූහ.
20ඒහුද් ඔහු වෙත ළං වූයේ, තම උඩු මහල් සිසිල් කුටියේ ඔහු තනි ව හිඳ සිටියදී ය. ඔහු, “දෙවියන්වහන්සේ වෙතින් ඔබට පණිවුඩයක් මා ළඟ ඇතැ” යි කීවේ ය. රජු තම අසුනින් නැගී සිටිත් ම, 21ඒහුද් තම වමත දිගු කොට, තම දකුණු කළවයෙහි වූ කඩුව ඇද, රජුගේ බඩට ඇන්නේ ය. 22තලය සමඟ කඩු මිට ද කිඳා බැස, මේදයෙන් වැසී ගියේ ය. මන්ද ඔහුගේ බඩෙන් ඔහු කඩුව පිටතට ඇද්දේ නැත. අතුණු අපද්‍රව්‍ය පිටතට ආවේ ය. 23ප්‍රවේශ ශාලාවට පිටතට වන් ඒහුද්, උඩු මහල් කුටියේ දොරවල් වසා, අගුල් දැම්මේ ය.
24ඔහු පිටත් ව ගිය පසු පැමිණි රාජ සේවකයෝ උඩු මහල් කුටියේ දොරවල් වසා තිබෙනු දැක, “සිසිල් කුටියේ ඔහු ශරීර කෘත්‍ය කරනු ඇතැ” යි කීහ. 25ඉවසුම් නො දෙන තෙක් ඔවුහු බලා සිටියහ. එහෙත් ඔහු කුටි දොරවල් විවර නො කළ බැවින් ඔවුහු යතුරු ගෙන, ඒවා විවර කළහ. එවිට ඔවුන් දුටුවේ ඔවුන්ගේ හාම්පුතා මැරී, එහි බිම වැතිර සිටිනු ය.
26ඔවුන්ගේ ප්‍රමාද ය අතරතුරේ ඉවත පැනගත් ඒහුද්, ගල් ප්‍රතිමා පෙදෙස පසු කොට සෙයිරා වෙත පලා ගියේ ය. 27එහි ළඟා වූ ඔහු එප්‍රායිම් කඳු රටේදී හොරණෑව පිම්බේ ය. එවිට ඉශ්රායෙල් ජනයා ඔහු සමඟ කඳුකරයෙන් පහළට ආහ. ඔහු ඔවුන්ගේ පෙරමුණ ගත්තේ ය.
28ඔහු ඔවුනට කතා කරමින්, “මා අනුව එනු! මන්ද ස්වාමින්වහන්සේ නුඹලාගේ සතුරු මෝවබ්වරුන් නුඹලා අතට දී ඇතැ” යි කී ය. එබැවින්, ඔහු පසු පස, පහළට ආ ඔවුහු මෝවබ් වෙත යන යොර්දාන්-තොට අල්ලා ගත්හ. කිසිවකුටත් එගොඩ වන්නට ඔවුහු ඉඩ නුදුන්හ. 29එවර ඔවුහු වඩා ප්‍රබල, සවිමත් මෝවබ්වරුන් දස දහස් දෙනකු මරා දැමූහ. එකකුදු නො ගැලවිණ. 30ඒ දවසේදී මෝවබ්වරු ඉශ්‍රායෙල්වරුනට යටත් කරන ලදහ. ඉන්පසු අසූ අවුරුද්දක් දේශයේ සාමය පැවතිණ.
ෂම්ගර්
31ඔහුගෙන් පසු, අනාත්ගේ පුත් ෂම්ගර් පැමිණියේ ය. ඔහු ගව අංකුසයකින් පිලිස්තිවරුන් හයසිය දෙනකු ගසා හෙළූ තැනැත්තා ය. ඔහු ද ඉශ්රායෙල් ගැලවී ය.
දැනට තෝරාගෙන ඇත:
විනිසුරුවෝ 3: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.