උත්පත්ති 20
20
අබිමෙලෙක්, සාරා හා ආබ්‍රහම්
1ආබ්‍රහම්, තමා සිටි පෙදෙසින් නෙගෙබ්#20:1 නෙගෙබ් එනම් දකුණු දිශාව බලා පිටත් ව, කාදෙෂ් හා ෂූර් අතර පදිංචි විය. කලක් ගෙරාර්හි විදේශගත ව සිටියදී, 2ආබ්‍රහම්, තම බිරිඳ වූ සාරා ගැන, “ඇය මගේ සහෝදරී” යි කීවේ ය. එකල ගෙරාර්හි රජු වූ අබිමෙලෙක් ඇය ගෙන්වා, ඇය තමා වෙත ගත්තේ ය.
3එහෙත් දෙවියන්වහන්සේ රෑ සිහිනයක් මගින් අබිමෙලෙක් වෙත අවුත්, “ඔබ කැඳවා ගත් කාන්තාව නිසා ඔන්න! ඔබ මිය ගිය කෙනකු වනු ඇත. මන්ද ඇය විවාහක කාන්තාවකැ” යි පැවසූ සේක.
4කෙසේ වුව ද අබිමෙලෙක් ඒ වන තෙක් සාරා වෙත එළැඹ නො තිබූ බැවින්, ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඔබ නිදොස් ජාතියක් විනාශ කර දමනවා ද? 5‘ඇය මගේ සහෝදරී’ යි ඔහු මට කීවේ නැති ද? ‘ඔහු මගේ සහෝදරයා’ යි ඇයත් කීවා නො වේ ද? මා මෙසේ ක්‍රියා කළේ මගේ හදේ අවංකකමිනි. මගේ අත්වල නිදොස්කමිනි” යි කීවේ ය.
6එවිට දෙවියන්වහන්සේ ඒ සිහිනයෙන් ඔහු අමතමින්, “ඔව්, නුඹ කටයුතු කළේ හදෙහි අවංකකමින් වග මම දනිමි. එබැවින් මට එරෙහිව පව් කිරීමෙන් මම නුඹ වැළැක්වීමි. ඇයට අත තබන්නවත් මා ඔබට ඉඩ නුදුන්නේ එබැවිනි. 7දැන් ඒ මිනිසාගේ බිරිඳ, ඔහු වෙත ආපසු යවන්න. මන්ද ඔහු දිවැසිවරයෙක්. ඔහු ඔබ උදෙසා යාච්ඤා කරනු ඇත. එයින් ඔබේ ජීවිතය රැකෙනු ඇත. එහෙත් ඔබ ආපසු ඇය නුදුනහොත්, ඔබත්, ඔබේය කියන සැවොමත් මරණයට පත් වන වග නිසැක ව ම දැනගන්නැ” යි පැවසූ සේක.
8පසු දින අලුයම් උදෙන් පිබිදුණු අබිමෙලෙක්, තම සියලු සේවකයින් කැඳවී ය. සිදුව ඇති සියල්ල ඔහු ඔවුන්ට පැවසූ කල, ඔවුහු මහත් සේ තැති ගත්හ. 9ඉන්පසු අබිමෙලෙක්, ආබ්‍රහම් කැඳවා, ඔහු අමතමින්, “මොකක් ද මේ නුඹ අපට කළේ? මේ තරම් බරපතළ පාපයක් මා පිටත්, මගේ රාජධානිය පිටත් පැටවීමට මා නුඹට කළ වරද කුමක් ද? නුඹ මට කර ඇත්තේ අකටයුත්තකැ” යි දෝෂාරෝපණ කළේ ය. 10යළි ආබ්‍රහම් ඇමතූ අබිමෙලෙක්, “මෙසේ කරන්නට හේතුව කුමක් දැ?” යි ඇසී ය.
11ආබ්‍රහම් පිළිතුරු දෙමින්, “මා සිතා සිටියේ ‘මෙහි සැබවින් ම දේව භයක් නැත කියායි. එබැවින් මගේ බිරිඳ නිසා ඔවුන් මා මරා දමනු ඇත’ කියායි. 12ඒ ඇරත්, ඈ ඇත්තෙන් ම මගේ සහෝදරියයි. ඈ මගේ මවගේ දියණියක නො වූවත්, මගේ පියාගේ දියණියයි. ඈ මගේ බිරිඳ වූවා ය. 13මගේ පියාගේ නිවසින් පිටත් ව තැන් තැන්හි යෑමට දෙවියන්වහන්සේ මට සැලසූ කල, ඇයට කතා කළ මා, ‘ඔබ මට කරුණා පෑ යුත්තේ, අප යන කොතැනකදී වුව, “ඔහු මගේ සහෝදරයා” යි මා ගැන කීමෙනි’ යි කියා තිබුණා” යි පැවසී ය.
14එවිට අබිමෙලෙක් බැටළුවන් ද ගවයින් ද දැසි දස්සන් ද ගෙන්වා, ආබ්‍රහම්ට දුන්නේ ය. ආබ්‍රහම්ගේ බිරිඳ වන සාරා ද යළි ඔහුට බාර දුන් 15අබිමෙලෙක්, “ඔන්න! මගේ දේශය ඔබ ඉදිරියේ. ඔබ කැමති ඕනෑ ම තැනක වාසය කරන්නැ” යි පැවසී ය.
16ඉන්පසු සාරා ඇමතූ අබිමෙලෙක්, “මෙන්න, ඔබේ සහෝදරයාට මා රිදී මිල දහසක් දුන්නා. එය, ඔබ හා සිටින සියල්ලන් හමුවේ ඔබේ නිදොස් බවේ ලකුණක් හැටියට දෙන වන්දියකි. මේ සම්බන්ධයෙන් ඔබ සම්පූර්ණයෙන් නිදොස් යැ” යි පැවසී ය.
17ඉන්පසු ආබ්‍රහම් දෙවියන්වහන්සේට යාච්ඤා කළේ ය. දෙවියන්වහන්සේ අබිමෙලෙක් සුව කළ සේක්, නැවතත් දරුවන් පිළිසිඳ ගත හැකි වන පරිදි, ඔහුගේ බිරිඳ හා ඔහුගේ දාසීන් ද සුව කළ සේක. 18මන්ද ආබ්‍රහම්ගේ බිරිඳ වූ සාරා පිළිබඳ සිද්ධිය නිසා ස්වාමින්වහන්සේ අබිමෙලෙක්ගේ ගෘහවාසී සියලු කාන්තාවන්ගේ දරු ගැබ් පියවා තිබිණි.
Выбрано:
උත්පත්ති 20: SCV
Выделить
Поделиться
Сравнить
Копировать
Хотите, чтобы то, что вы выделили, сохранялось на всех ваших устройствах? Зарегистрируйтесь или авторизуйтесь
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.