සෙකරියා 5

5
ඉගිළෙන ඇකුළුම් පොත
1යළිත් මම ඇස් ඔසවා බැලීමි. මෙන්න! එවිට මා ඉදිරිපිට වූයේ ඉගිළෙන ඇකුළුම් පොතකි.
2“ඔබට කුමක් පෙනේ දැ?” යි ඔහු මගෙන් ඇසී ය.
“ඉගිළෙන ඇකුළුම් පොතක් මට පෙනේ. එය දිගින් රියන් විස්සකි; පළලින් රියන් දහයකි” යි මම පිළිතුරු දුනිමි.
3එවිට මා ඇමතූ ඔහු, “මුළු දේශය සිසාරා පිටත් ව යන ශාපයකි මේ. එහි එක් පැත්තක සඳහන් පරිදි, හැම සොරෙක් ම නෙරපා හරිනු ලැබේ. එහි අනෙක් පැත්තේ සඳහන් පරිදි, බොරුවට දිවුරන හැම කෙනෙක් ම නෙරපා හරිනු ලැබේ. 4‘මම එය පිටත් කර හරිමි. එය සොරාගේ නිවසටත්, මගේ නාමයෙන් බොරුවට දිවුරන්නාගේ නිවසටත් ඇතුල් ව, ඒ අයගේ නිවසෙහි රැඳී, එහි ගල් ද දැව ද සමඟින් එය විනාශ කර දමනු ඇතැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැ” යි පැවසී ය.
භාජනය තුළ සිටින ස්ත්‍රිය
5ඉන්පසු, මා හා කතා කළ දේව දූතයා ඉදිරියට පැමිණ, “ඇස් ඔසවා, බලා, පිටත් ව යන්නේ කුමක් දැයි බලන්නැ” යි මට පැවසී ය.
6“ඒ කුමක් දැ?” යි එවිට මම ඇසීමි.
“පිටත් ව යන්නේ මිනුම් භාජනයකි#5:6 මිනුම් භාජනයකි හෙබ්‍රෙව් ඒෆාව. දේශය පුරා ජනයාගේ අයුතුකම් මේ යැ” යි ඔහු පැවසී ය.
7ඉන්පසු ඊයම් පියන ඔසවන ලදී. මෙන්න! ස්ත්‍රියක් ඒෆාව තුළ වාඩිගෙන! 8“මෙන්න දුෂ්ටකම” යි දේව දූතයා, භාජනය තුළට යළි ඇය තල්ලු කොට, භාජනයේ මුව ඊයම් පියනෙන් වසා දැමුවේ ය.
9ඉන්පසු මම ඇස් ඔසවා, බැලීමි. එවිට මෙන්න! ඉදිරියට එන ස්ත්‍රීන් දෙදෙනෙක්! ඔවුන්ගේ පියාපත්වල සුළඟ තිබිණි. ඔවුනට කණකොක් පියාපත් බඳු පියාපත් තිබිණි. ඔවුහු අහසත් පොළොවත් අතරේ මිනුම් භාජනය ඔසවාගෙන ගියහ.
10“ඔවුන් ඒ භාජනය කොහේ ගෙන යනවා දැ?” යි මා හා කතා කළ දේව දූතයාගෙන් මම ඇසීමි.
11ඔහු පිළිතුරු දෙමින්, “ෂිනාර් දේශයටයි. ඊට දේවාලයක් තනන්නටයි. එය සූදානම් කළ පසු, ඊට නියමිත පාදකය මත එම භාජනය පිහිටුවනු ඇතැ” යි පැවසී ය.

Marker

Del

Kopier

None

Vil du ha høydepunktene lagret på alle enhetene dine? Registrer deg eller logg på