සෙකරියා 4

4
රන් පහන් කණුව
1ඉන්පසු, මා හා කතා කළ දේව දූතයා ආපසු අවුත්, නින්දෙන් මිනිසකු පුබුදු කරන්නා සේ මා පුබුදුවා, 2මා අමතමින්, “ඔබට පෙනෙන්නේ මොනවා දැ?” යි මගෙන් ඇසී ය.
මම පිළිතුරු දෙමින්, “අන්න! රන් පහන් රුකක් මට පෙනේ. එහි මුදුනේ පාත්‍රයකි; පාත්‍රය මත පහන් හතකි; පහන් මත වූ තිරවලට නළ හතකි. 3තවද එය අසල ඔලීව ගස් දෙකකි, එකක් පාත්‍රය ට දකුණු පසිනි; අනෙක වම් පසිනි” යි කීවෙමි.
4මා හා කතා කළ දේව දූතයා ඇමතූ මම, “මේවා මොනවා ද මා මැතිඳුනි?” යි ඇසීමි.
5එවිට මා හා කතා කළ දේව දූතයා පිළිතුරු දෙමින්, “මේවා මොනවාදැයි ඔබ දන්නේ නැද්දැ?” යි ඇසී ය.
“නැත, මා මැතිඳුනි” මම පිළිතුරු දුනිමි.
6එවිට ඔහු මා අමතමින්, “සෙරුබ්බාබෙල් වෙත ස්වාමින්වහන්සේගේ වචනය මෙයයි: ‘සේනා බලයෙන්වත්, සවි බලයෙන්වත් නො ව, මගේ ආත්මයාණන්ගෙනි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
7“එම්බා මහා පර්වතය, නුඹ කවරෙක් ද? සෙරුබ්බාබෙල් ඉදිරිපිට නුඹ නිකම් සමතලා බිමක් මෙන් වනු ඇත. ‘ඊට දේවාසිරි වේවා! දේවාසිරි වේවා!’ යි නැගෙන ජය ගොස මැද්දේ ඔහු වැඩ සම්පූර්ණ කිරීමේ අවසන් ගල තබනු ඇත.”
8අනතුරුව, ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ කියමින්, මා වෙත පැමිණියේ ය: 9“සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මෙම ගෘහයේ අත්තිවාරම දැමිණි. ඔහුගේ අත් එම කාර්යය සම්පූර්ණ කෙරෙනු ඇත. සේනාංකවල ස්වාමින්වහන්සේ ම ඔබ වෙත මා එවූ වග එවිට ඔබ දැනගනු ඇත.
10“මන්ද කුඩා දෑහි දවස සුළුවට තැකුවේ කවුද? පොළොව මුළුල්ලේ ඔබ මොබ යන ස්වාමින්වහන්සේගේ සත් නේත්‍රයෝ සෙරුබ්බාබෙල් අත මුදුන් ගල#4:10 මුදුන් ගල හෝ ලඹ කැටය තිබෙනු දකින විට ප්‍රීති වන්නාහ.”
11එවිට, ඔහු ඇමතූ මම, “පහන් රුකට දකුණින් හා වමින් ඇති මේ ඔලීව ගස් දෙක මොනවා දැ?” යි ඇසීමි.
12යළිත් ඔහු ඇමතූ මම, “රන්වන් තෙල් වැගිරෙන රන් නළ දෙක පසෙකින් ඇති මේ ඔලීව අතු දෙක මොනවා දැ?” යි ඇසීමි.
13ඔහු පිළිතුරු දෙමින්, “මේවා මොනවාදැයි ඔබ දන්නේ නැද්දැ?” යි ඇසී ය.
“නැත, මා මැතිඳුනි” යි මම කීවෙමි.
14එකල ඔහු පිළිතුරු දෙමින්, “මේ සමස්ත මිහිතලයේ ම ස්වාමින්ට මෙහෙ කරන්නට ආලේප ලත් දෙදෙනා” යි පැවසී ය.

Marker

Del

Kopier

None

Vil du ha høydepunktene lagret på alle enhetene dine? Registrer deg eller logg på