Лого на YouVersion
Икона за пребарување

උත්පත්ති 40

40
ජෝසෙප් සිරකරුවන්ගේ සිහින තෝරා දීම
1මීට ස්වල්ප කලකට පසු මිසරයේ රජුගේ කුසලාන පිරිනමන්නා හා පූප සාදන්නා ඔවුන්ගේ ස්වාමියා වන මිසරයේ රජතුමාට විරුද්ධ ව වැරදි කොට තිබිණි. 2පාරාවෝ රජ කුසලාන පිරිනමන්නන්ගේ ප්‍රධානියා හා පූප සාදන්නන්ගේ ප්‍රධානියා යන මේ නිලධාරීන් දෙදෙනාට විරුද්ධ ව කිපී, 3මුර සෙන්පතියාගේ නිවෙසහි වූ, සිරගෙදර ඔවුන් දැමී ය. ජෝසෙප් ද සිරගත ව සිටියේ එම ස්ථානයේ ය. 4මුර සෙන්පති ඔවුන් ජෝසෙප්ට බාර දුන්නේ ය. ඔහු ඔවුන් බලාගත්තේ ය. ඔව්හු සෑහෙන කාලයක් සිරගත ව සිටියහ.
5එකල සිරගත ව සිටි මිසර රජුගේ කුසලාන පිරිනමන්නා හා පූප සාදන්නා යන දෙදෙනා ම තම තමන්ට ම අදාළ වූ තේරුම් ඇති සිහිනයක් බැගින්, එක ම රාත්‍රියේ දී දුටහ. 6උදය කාලයේ දී ජෝසෙප් ඔවුන් වෙත පැමිණ, ඔවුන් දෙස බැලූ කල, ඔවුන් කණස්සල්ලෙන් සිටිනු දිටී ය. 7එවිට ඔහු තම ස්වාමියාගේ නිවෙසහි තමා සමඟ හිරගත ව සිටි පාරාවෝගේ වාසල නිලධාරීන්ට කතා කොට, “අද ඔබ මෙතරම් මළානික ව සිටින්නේ මන්දැ”යි විචාළේ ය. 8ඔව්හු ද ඔහුට උත්තර දෙමින්, “අපි දෙදෙන ම සිහිනයක් බැගින් දුටිමු. එහෙත්, එහි තේරුම කියා දෙන්න කෙනෙක් නැතැ”යි කී හ. එවිට ජෝසෙප් ඔවුන් අමතා, “තේරුම දෙවියන් වහන්සේ සතු දෙයක් නො වේ ද? කරුණාකර, මට ඒවා කියන්නැ”යි පැවසී ය.
9එවිට ප්‍රධාන කුසලාන පිරිනමන්නා ජෝසෙප්ට කතා කොට, තමාගේ සිහිනය දන්වමින්, “මම, සිහිනෙන් මා ඉදිරියෙහි මිදි වැලක් දිටිමි. 10මිදි වැලේ රිකිලි තුනක් විය. තවද එහි, දලු ලියලා මල් හට ගත්තේ ය. එහි වලුවල ඉදුණු මිදි ගෙඩි තිබිණි. 11පාරාවෝගේ කුසලාන මා අතේ විය. මම මිදි ගෙඩි ගෙන, පාරාවෝගේ කුසලානට ඒවා මිරිකා, පාරාවෝ අතට කුසලාන දුනිමි”යි කීවේ ය.
12ජෝසෙප් ඔහුට කතා කොට, “එහි තේරුම නම් මෙය යි. රිකිලි තුන දින තුනකි. 13තුන් දිනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර ඔබේ නිලය නැවත ඔබට දෙන්නේ ය. ඔබ, කලින් එතුමාගේ කුසලාන පිරිනමන්නා මෙන් සිටිය දී කළ පරිදි නැවත පාරාවෝ අතට කුසලාන දෙන්නෙහි ය. 14ඉතින් ඔබට හොඳ කාලයක් ආ විට මා සිහිකර, කරුණාකර, මට ප්‍රසාදය දක්වන්න. පාරාවෝට ද මා ගැන සඳහන් කොට, මේ සිරගෙයින් මා පිටතට ගන්න. 15මන්ද, ඇත්තට ම, මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් පැහැරගනු ලැබීමි. මෙහි දී පවා මේ සිරගෙයි දමනු ලැබීමට මම කිසිවක් නො කෙළෙමි”යි කීවේ ය.
16ප්‍රධාන පූප සාදන්නා ද එහි තේරුම කදිම බව දුටු විට, ඔහුත් ජෝසෙප්ට කතා කොට, “මම ද සිහිනෙන්, මාගේ හිස මත පූප පෙට්ටි තුනක් ඇති ව සිටිනු දිටිමි. 17උඩින් ම තිබූ පෙට්ටියේ පාරාවෝ සඳහා පිසූ විවිධ ආහාර වර්ග තිබිණි. පක්ෂීහු අවුත් මාගේ හිස මත තිබූ පෙට්ටියෙන් ඒවා කෑ හ”යි කීවේ ය. 18එවිට ජෝසෙප් පිළිතුරු දෙමින්, “එහි තේරුම මෙය යි. පෙට්ටි තුන නම් දින තුනකි. 19දින තුනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර, ඔබ ගසක එල්ලන්නේ ය. කුරුල්ලෝ ඔබේ සිරුරෙන් මස් කොටා කන්නෝ ය”යි කී ය.
20තවද, තුන් වන දින, පාරාවෝගේ ජන්මෝත්සවය වූයෙන්, ඔහු සියලු නිලධාරීන් සඳහා මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. ඔහු නිලධාරීන් ඉදිරියෙහි කුසලාන පිරිස්නමන්නන්ගේ ප්‍රධානියා හා පූප සාදන්නන්ගේ ප්‍රධානියා සිරගෙයින් පිට කර, 21කුසලාන පිරිනමන්නන්ගේ ප්‍රධානියා යළි එම නිලයට ම පත් කෙළේ ය. ඔහු පාරාවෝ අතට කුසලාන පිරිනැමී ය. 22එහෙත්, ඔහු පූප සාදන්නන්ගේ ප්‍රධානියා එල්ලාදැමී ය. මෙසේ ජෝසෙප් ඔවුන්ට තේරුම් කර දුන් ලෙස ම සියල්ල සිදු විය. 23එහෙත් කුසලාන පිරිනමන්නා නම් ජෝසෙප් ගැන නොසිතා ඔහු අමතක කර දැමී ය.

Селектирано:

උත්පත්ති 40: NRSV

Нагласи

Копирај

Спореди

Сподели

None

Дали сакаш да ги зачуваш Нагласувањата на сите твои уреди? Пријави се или најави се