Лого на YouVersion
Икона за пребарување

උත්පත්ති 38

38
ජුදා සහ තාමාර්ගේ කතාව
1එකල ජුදා තම සහෝදරයන්ගෙන් වෙන් වී අදුල්ලම් නම් නගරයේ වැසියෙකු වන හීරා නමැත්තෙකු සමඟ වාසය කිරීමට ගියේය. 2එහි දී ඔහු කානානිය ජාතික, ෂුවා නමැත්තෙකුගේ දුවක දැක, ඈ සරණ පාවාගෙන, ඈ සමඟ විසුවේ ය. 3ඈ ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ජුදා ඔහුට ඒර් යන නම තැබී ය. 4ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ඈ ඔහුට ඕනාන් යන නම තැබුවා ය. 5ඈ තව වරක් ගැබ්ගෙන පුතෙකු ලැබුවෙන්, ඔහුට ෂේලා යන නම තැබුවා ය. ඈ ෂේලා ලැබූ විට, ජුදා සිටියේ කෙසිබ් නම් ස්ථානයේ ය.
6ජුදා තම කුලුඳුල් පුත් ඒර්ට තාමාර් නමැති ස්ත්‍රියක විවාහ කොට දුනි. 7එහෙත් ජුදාගේ කුලුඳුල් පුත් ඒර්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව බොහෝ පව් කළ හෙයින් උන් වහන්සේ ඔහු මැරෙන්නට සැලැසූ සේක. 8එවිට ජුදා ඕනාන්ට කතා කොට, “නුඹ සහෝදරයාගේ වැන්දඹුව සරණ පාවාගෙන, මස්සිනා කෙනෙකු නිසා ඈ වෙත යුතුකම ඉටු කර සහෝදරයාට දරුවන් උත්පාද කරන්නැ”යි කී ය. 9එහෙත්, ඕනාන්, දරුවන් තමාගේ නොවන බව දැනගෙන, තම සහෝදරයාගේ වැන්දඹුව සමඟ සයනය කළ සැම විට ම සිය සහෝදරයාට දරුවන් නො දෙනු පිණිස තම පුරුෂ ධාතු බිම වැගිරෙන්නට සැලැසී ය. 10ඔහු කළ ක්‍රියාව සමිඳාණන් වහන්සේට අප්‍රසන්න වූ හෙයින්, උන් වහන්සේ ඔහු ද මැරෙන්නට සැලැසූ සේක. 11එවිට ජුදා තම ලේලිය වන තාමාර්ට කතා කොට, “මාගේ පුත්‍ර ෂේලා වැඩිවියට පැමිණෙන තෙක් ඔබේ පියා වෙත වැන්දඹුවක මෙන් ආපසු යන්නැ”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ, ‘ඔහුගේ සහෝදරයන්ට වූ ලෙස ම ඇතැම් විට ඔහුත් මැරෙන්නට පුළුවනැ’යි සිතූ නිසා ය. එවිට තාමාර් ගොස්, තම පියාගේ ගෘහයෙහි පදිංචි වූවා ය.
12කලක් ගිය පසු ෂුවාගේ දුව වූ ජුදාගේ භාර්යාව මළා ය. ඔහු ද අවමංගල්‍ය කාලය නිම වූ පසු, අදුල්ලම් නගරවැසි තම මිත්‍ර හීරා සමඟ, තම බැටළුවන්ගේ ලොම් කපන මිනිසුන් වෙත, තිම්නා නම් ස්ථානයට ගියේය. 13“ඔබේ මාමණ්ඩි ඔහුගේ බැටළුවන්ගේ ලොම් කපන පිණිස තිම්නාට යන්නේ ය” කියා තාමාර්ට දන්වන ලදින්, 14ඈ තම කනවැන්දුම් ඇඳුම් ඉවත ලා, මුහුණු වැස්මකින් තම මුහුණ වසා, පොරවාගෙන තිම්නාවට යන මඟ, ඒනයිම් නම් නුවරට ඇතුළු වන ස්ථානයෙහි වාඩි වූවා ය. මන්ද, ෂේලා වැඩිවියට පැමිණි නමුත්, ඔහුට ඈ භාර්යාව කොට නුදුන් බව ඈ දුටු හෙයිනි.
15ජුදා ඈ දුටු විට ඈ තම මුහුණ වසාගෙන සිටි බැවින් ‘ඈ වේශ්‍යාවකැ’යි ඔහු සිතී ය. 16ඔහු ද මඟ අසල සිටි ඈ වෙත ගොස්, “කරුණාකර, එන්න, ඔබ සමඟ සයනය කිරීමට මට ඉඩ හරින්නැ”යි කී ය. මන්ද, ඈ තම ලේලිය බව ඔහු නොදත් හෙයිනි. ඈ ද උත්තර දෙමින්, “මා සමඟ සේවනයෙහි යෙදෙනු පිණිස ඔබ මට කුමක් දෙන්නෙහි දැ”යි ඇසුවා ය. 17“පට්ටියෙන් එළු පැටියෙකු එවන්නෙමි”යි ඔහු කී විට, “හොඳයි, ඔබ එය එවනතුරු මට අත්තිකාරමක් දෙන්නෙහි දැ”යි විචාළා ය. 18එවිට ඔහු ද, “කුමන අත්තිකාරමක් ඔබට දෙන්න දැ”යි ඇසුවෙන්, ඈ ද, “ඔබගේ මුද්‍රාවත්, මාලයත්, අතේ තිබෙන සැරයටියත් ය”යි උත්තර දුන්නා ය. ඔහු ඒවා ඈට දුන් පසු, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ ද පිළිසිඳගත්තා ය. 19පසුව ඈ නැඟිට, පිටත් ව ගොස්, සළුව ඉවත ලා, කනවැන්දුම් ස්ත්‍රියකගේ ඇඳුම් ලාගත්තා ය.
20ජුදා අදුල්ලම් නගරවාසී, තම මිතුරා අත, ස්ත්‍රියගෙන් අත්තිකාරම ආපසු ලබාගන්නා පිණිස එළු පැටියෙකු යැවී ය. එහෙත් ඔහුට ඈ සම්බ නො වූවා ය. 21එවිට ඔහු එහි සිටිය මිනිසුන්ට කතා කොට, “ඒනයිම් නම් ස්ථානයේ මඟ අසල සිටි වේශ්‍යාව කොහි දැ”යි ඇසූ විට, “එහි වේශ්‍යාවක් සිටියේ නැතැ”යි ඔව්හු උත්තර දුන් හ. 22පසුව ඔහු ජුදා වෙත ආපසු ගොස්, “මට ඈ සොයාගන්නට බැරි ය, ඇරත් එහි සිටි මිනිස්සු පවා එහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝ ය”යි සැළ කෙළේ ය. 23එවිට ජුදා කතා කොට, “ඈ ගත් දේ ඈ ම තබාගත්තාවේ; නැත්නම් මිනිසුන් අපට සිනාසෙන්නට පුළුවනි. ඔබට ඈ සම්බ නුවූ නමුත්, බලන්න, මම මේ බැටළු පැටියා ඈ වෙත යැවීමි”යි කී ය.
24මාස තුනක් පමණ ගත වූ පසු, “ඔබේ ලේලිය වන තාමාර් වේශ්‍යාකම් කළා ය” කියා ද, “ඇරත් වේශ්‍යාකමින් ඈ පිළිසිඳගෙන සිටින්නී ය” කියා ද ජුදාට දන්වන ලදින්, ඔහු ද, “ඈ පිටත ගෙනවුත් පුළුස්සා දමන්නැ”යි කීවේ ය. 25ඈ ද පිටතට ගෙනෙනු ලැබූ විට, තම මාමණ්ඩිට පණිවුඩයක් යවමින්, “මේවා යම් කෙනෙකුගේ ද, ඒ මිනිසාට දාව මම පිළිසිඳ ගත්තෙමි. එබැවින් කරුණාකර මේ බඩු වන, මුද්‍රාවත්, මාලයත්, සැරයටියත් කාගේ ද කියා විමසා බලන්නැ”යි කීවා ය. 26ජුදා ද ඒවා හඳුනාගෙන, “මා පුත් ෂේලා ඈට නුදුන් බැවින් මට වඩා හරි දේ කර ඇත්තේ ඈ ය”යි කී ය. එහෙත්, ඉන්පසු ඈ සමඟ ඔහු සයනය කෙළේ නැත.
27ඈ ප්‍රසව වේදනාවෙන් පසු වන විට, පුදුමයකි, ඇගේ කුසේ නිඹුල්ලු සිටියහ. 28ඈ දරුවන් ලබන කල, එක දරුවෙක් අත පිටතට දැමී ය. වින්නඹු මව ද එය ගෙන, “මොහු පළමුවෙන් පිට වී ය”යි කියා, ඔහුගේ අතේ තද රතු නූලක් බැන්දා ය. 29එහෙත් ඔහු අත ඇතුළට ඇදගත් විට, ඔහුගේ සහෝදරයා බිහි විය. එවිට වින්නඹු මව ද, “ඔබ කඩා බිඳගෙන ආ හැටි යස යි” කියා ඔහුට පෙරෙශ් යන නම තැබුවා ය. 30ඉන්පසු, තම අතේ තද රතු නූල බැඳි ඔහුගේ සහෝදරයා බිහි විය. ඔහුට ශෙරා යන නම දෙන ලදී.

Селектирано:

උත්පත්ති 38: NRSV

Нагласи

Копирај

Спореди

Сподели

None

Дали сакаш да ги зачуваш Нагласувањата на сите твои уреди? Пријави се или најави се