Лого на YouVersion
Икона за пребарување

උත්පත්ති 30

30
1රාකෙල් තමා ජාකොබ්ට දාව දරුවන් නොලැබූ බව දුටු විට ඈ සිය සොහොයුරියට ඊර්ෂ්‍යා කරමින්, ජාකොබ් අමතා, “මට දරුවන් දෙන්න, නැත්නම් මම නසිමි”යි කීවා ය. 2එවිට ජාකොබ් ඈ සමඟ කෝපයෙන් දැවී, “මට දෙවියන්ගේ තැන ගත හැකි ද? ගැබ්ගැනීමෙන් ඔබ වළක්වා ඇත්තේ උන් වහන්සේ ය”යි පැවසී ය. 3ඈ ද කතා කරමින්, “මෙන්න, මාගේ සේවිකාව වන බිල්හා, ඈ සමඟ එක් වන්න. ඇගෙන් මට දරුවන් ලබාගත හැක. මෙලෙස ඈ මඟින් මට දරුවන් ඇති වේ ය”යි කීවා ය. 4මෙසේ කියා ඈ තම සේවිකාව වන බිල්හා ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය. ඔහු ද ඈ සමඟ එක් වුණි. 5ඈ ගැබ්ගෙන, ජාකොබ්ට දාව පුතෙකු ලැබුවා ය. 6එවිට රාකෙල්, “දෙවියන් වහන්සේ මට යුක්තිය ඉටු කළ සේක. උන් වහන්සේ මාගේ හඬටත් සවන් දී, මට පුතෙකු දුන් සේකැ”යි කියා ඔහුට දාන් යන නාමය තැබුවා ය. 7රාකෙල්ගේ සේවිකාව වන බිල්හා නැවතත් ගැබ්ගෙන ජාකොබ්ට දාව දෙ වන පුතෙකු ද ලැබුවා ය. 8එවිට රාකෙල්, “මාගේ සහෝදරී සමඟ මාර යුද්ධයක් කර ජය ගතිමි”යි කියා ඔහුට නප්තලී යන නාමය තැබුවා ය.
9ලෙයා ද, තම ගැබ්ගැනීම නැවතුණු බව දුටු විට ඈ ඇගේ සේවිකාව වන ශිල්පා රැගෙන, ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය. 10ශිල්පා ද ගැබ්ගෙන ජාකොබ්ට දාව පුතෙකු ලැබුවා ය. 11එවිට ලෙයා, “මම කෙතරම් වාසනාවන්ත ද” කියා ඔහුට ගාද් යන නාමය තැබුවා ය. 12ලෙයාගේ සේවිකාව වන ශිල්පා ජාකොබ්ට දාව දෙ වන පුතෙකු ද ලැබුවා ය. 13එවිට ලෙයා, “මම කෙතරම් භාග්‍යවන්ත ද? ස්ත්‍රීහු මා ‘භාග්‍යවන්තී ය’යි පවසන්නෝ ය” කියා ඈ ඔහුට ආෂෙර් යන නාමය තැබුවා ය.
14තිරිඟු අස්වැන්න නෙළන කාලයේ දී රූබන් කෙතට ගොස්, එහි, දුදායිම් නම් පැළ කීපයක් සොයාගෙන විත් තම මව වන ලෙයාට දුනි. එවිට රාකෙල් ඈට කතා කොට, “කරුණාකර, මට ඔබේ පුත්‍රයා ගෙනා දුදායිම් පැළවලින් ටිකක් දෙන්නැ”යි කීවා ය. 15ඈ රාකෙල්ට උත්තර දෙමින්, “ඔබ මාගේ සැමියා පාවාගත්තා මදි ද? දැන් මා පුතුන්ගේ දුදායිම් පැළ ටිකත් පැහැරගන්න ද යන්නේ” කියා කීවා ය. එවිට රාකෙල් ද, “හොඳයි, එසේ නම් ඔබ පුතුන්ගේ දුදායිම් පැළ මට දුන්නොත් අද රාත්‍රියේ මාගේ සැමියා සමඟ ඔබට සැතපෙන්නට පුළුවනැ”යි කීවා ය.
16සවස් කාලයේ දී ජාකොබ් කෙතේ සිට එන විට, ලෙයා ඔහු හමුවීමට ගොස්, “ඔබ මා වෙත පැමිණිය යුතු ය. මා පුතුන්ගේ දුදායිම් පැළ දීමෙන් මම ඔබ කුලියට ගත්තෙමි”යි ඈ කීවෙන් එදා රාත්‍රියේ ඔහු ඈ සමඟ සැතපුණේ ය. 17දෙවියන් වහන්සේ ලෙයාට සවන් දුන් සේක; ඈ ගැබ්ගෙන ජාකොබ්ට දාව පස් වන පුතෙකු ලැබුවා ය. 18එවිට ලෙයා, “මාගේ සේවිකාව මාගේ සැමියාට දුන් බැවින් දෙවියන් වහන්සේ මාගේ කුලිය ගෙවූ සේකැ”යි කියා ඔහුට ඉස්සාකර් යන නාමය තැබුවා ය. 19ලෙයා නැවතත් ගැබ්ගෙන, ජාකොබ්ට දාව සය වන පුතු ලැබුවා ය. 20“දෙවියන් වහන්සේ මට මහඟු දායාදයක් දුන් සේක. මාගේ සැමියාට දාව මා පුතුන් සය දෙනෙකු ලැබූ බැවින් දැන් වත් ඔහු මට ගරු කරන්නේ ය”යි කියා ඈ තම පුතුට සාබුලොන් යන නාමය දුන්නා ය. 21පසුව ඈ දුවක ලැබුවා ය. ඈට දීනා යන නාමය තැබුවා ය.
22තවද, දෙවියන් වහන්සේ රාකෙල් සිහි කර ඈට සවන් දී, ඈට ගැබ්ගැනීමට සැලැස්සූ සේක. 23ඈ ද ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. “දෙවියන් වහන්සේ මාගේ නින්දාව පහකළ සේකැ”යි කියමින්, 24ඈ ඔහුට ජෝසෙප් යන නාමය දී, “සමිඳාණන් වහන්සේ මට තවත් පුතෙකු එකතු කරන සේක් වා!”යි කියා පැතුවා ය.
ලාබන් සමඟ ජාකොබ්ගේ ගනුදෙනුව
25රාකෙල් ජෝසෙප් ලැබූ පසු ජාකොබ් ලාබන්ට කතා කොට, “මාගේ ම ගෘහයට, මාගේ ම දේශයට යන පිණිස මා යන්න හරින්න. 26මාගේ භාර්යාවන් මට දෙන්න, මම ඔවුන් නිසා ඔබට සේවය කෙළෙමි. මාගේ දරුවන් ද මට දී මා යන්න හරින්න. ඔබට මා කළ සේවය ඔබ දන්නෙහි ය”යි කී ය. 27ලාබන් ඔහුට උත්තර දෙමින්, “ඔබ මට කරුණාව දක්වන්නෙහි නම් මට සවන් දෙන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ නිසා මට ආශීර්වාද කළ බව මම නිමිති බැලීමෙන් දැනගතිමි. 28ඔබේ කුලිය නියම කරන්න; මම එය ඔබට ගෙවන්නෙමි”යි කී ය. 29එවිට ජාකොබ් ඔහු අමතමින්, “ඔබට මම කෙසේ සේවය කෙළෙම් ද කියාත්, ඔබේ ගව පට්ටි මා බාරේ සිටි සැටිත් ඔබ දන්නෙහි ය. 30මා පැමිණෙන්න පෙර ඔබ සතු ස්වල්ප දේ, දැන් ඉමහත් ලෙස බහුල වී ඇත. මා පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කළ සේක. දැන් ඉතින් මාගේ පවුලේ අභිවෘද්ධිය තකා මම යමක් සපයන්නේ කවරදා දැ”යි ඇසී ය.
31ඔහු ද උත්තර දෙමින්, “මා ඔබට කුමක් ගෙවිය යුතු දැ”යි ඇසූ විට, “ඔබ මට කිසිවක් දෙන්න උවමනා නැත. මා මේ කියන්න යන දේ ඔබ මට ඉටු කරන්නෙහි නම්, මම නොකඩවා ම ඔබේ බැටළු රැළ කවා පොවා රැකබලාගන්නෙමි. 32මම අද ඔබේ බැටළු පට්ටි මැදින් ගමන් කරමි. බැටළුවන්ගෙන් කළු පාට ඇති සියලු සතුන් ද එළුවන්ගෙන් තිත් සහ පුල්ලි ඇති උන් ද වෙන් කරමි. මාගේ කුලිය එය වේ. 33තවද, මාගේ අවංක භාවය ද ඔබට සොයාගත හැක. ඔබ මාගේ කුලිය ගැන සෝදිසි කර බලන විට, එළුවන් අතරෙන් තිත් හෝ පුල්ලි හෝ නැති එකෙකු වත් බැටළුවන් අතරෙන් කළු පාට නැති එකෙකු වත් මට සිටියොත් ඌ සොරාගත් එකෙකු සැටියට ඔබට ගණන් ගත හැකි ය”යි කීවේ ය. 34ලාබන් ද, “හොඳයි, ඔබ කී ලෙස සිදුවේවා”යි පිළිතුරු දුනි. 35එහෙත්, ලාබන් එදින එළුවන්ගෙන් වයිරම් සහ පුල්ලි වැටුණු උන් ද, එළු දෙනුන්ගෙන් තිත් සහ පුල්ලි සහිත සියලු සතුන් ද, සුදු පාට ඇති උන් ද, බැටළුවන්ගෙන් කළු පාට ඇති සියලු සතුන් ද වෙන් කර, තම පුතුන් හට බාර දී 36ජාකොබ්ගෙන් වෙන් ව තුන් දිනක් දුර ගමන් කෙළේ ය. ජාකොබ් ද ලාබන්ගේ ඉතිරි බැටළු රැළවල් පෝෂණය කෙළේ ය.
37ඉන්පසු ජාකොබ්, ලිබ්නෝ, ලුස් සහ ආර්මොන් යන ගස්වලින් අමු දඬු ගෙන, ඒවායේ සුද පෙනෙන ලෙස, පටු තීරු වශයනේ පොතු ගලවා, 38එළු බැටළු රැළවල් වතුර බොන්න ආ විට, උන් ඉදිරිපිට, වතුර ඔරුවල ඒවා තැබුවේ ය. උන් ද වතුර බොන්න ආ කල පට්ටි ගැසුණි. 39මෙසේ ඒ සත්තු, දඬු ඉදිරියෙහි පට්ටි ගැසී, ගැබ්ගෙන, වයිරම් වැටුණු, තිත් සහ පුල්ලි ඇති පැටවුන් බිහි කළහ. 40පසුව ඔහු බැටළුවන් වෙන් කර ලාබන්ගේ රැළේ සිටි කළු පාට වූ ද, වයිරම් වැටුණා වූ ද සතුන් දෙසට ඔවුන් හැරෙව්වේ ය. ඇරත් ඔහු තමාගේ පට්ටි, ලාබන්ගේ සතුන් සමඟ මිශ්‍ර නොකර, උන් වෙන් කොට තැබී ය. 41තවද, ඔහු, වඩා ශක්තිමත් සතුන් පට්ටි ගසන සැම විට ම, දඬු ඉදිරියේ ගැබ්ගන්න පිණිස, සතුන් ඉදිරියේ වතුර ඔරුවල ඒවා තැබී ය. 42එහෙත්, සත්තු බෙලහීන ව සිටියෝ නම්, ඔහු ඒ දඬු නොතැබී ය. මෙසේ කිරීමෙන් බෙලහීන සත්තු ලාබන්ගේ වූ හ. ශක්තිමත් වූවෝ ජාකොබ්ගේ වූ හ. 43මෙලෙසින් ජාකොබ් අතිශයින් ධනවත් විය. ඔහුට බොහෝ එළු බැටළු රැළවල් ද දාස දාසීහු ද ඔටුවෝ ද කොටළුවෝ ද වූ හ.

Селектирано:

උත්පත්ති 30: NRSV

Нагласи

Копирај

Спореди

Сподели

None

Дали сакаш да ги зачуваш Нагласувањата на сите твои уреди? Пријави се или најави се