Лого на YouVersion
Икона за пребарување

උත්පත්ති 2

2
1මෙසේ අහසත් පොළොවත් එහි මුළු සේනාවත් මවා නිමවනලද්දේය. 2දෙවියන්වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිමකළසේක. උන්වහන්සේ තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක. 3දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක.
මැවීම, ඒදන් උයන
4 ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොවත් අහසත් සෑදූ දවසෙහි, ඒවා මවනලද කාලයෙහි, අහසෙත් පොළොවෙත් මුල් ප්‍රවෘත්තිය මේය. 5ඒ තාක් කල් වනයේ කිසි ගසක් පොළොවෙහි නොතිබුණේය, වනයේ කිසි පලා ජාතියක්ද හටනොගත්තේය. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොව පිට වර්ෂාව නොවස්වා තිබුණු නිසාය. භූමිය වගාකරන පිණිස මනුෂ්‍යයෙක්ද නොසිටියේය. 6එහෙත් මීදුමක් පොළොවෙන් නැගී මුළු භූමිතලය තෙමුවේය. 7ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක්#2:7 එනම්, සත්වයෙක්. විය. 8ස්වාමිවූ දෙවියන්වහන්සේ නැගෙනහිර දිශාවෙහි, ඒදන්හි, උයනක් වවා තමන් සෑදූ මනුෂ්‍යයා එහි සිටෙවූසේක. 9දැකීමට ප්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියෙන් හටගැන්වූසේක. 10උයන තෙමන පිණිස ඒදනෙන් ගංගාවක් නික්ම ගියාය; එය එතැනින් බෙදී ගංගා සතරක් විය. 11පළමුවෙනි ගංගාවේ නම පීෂොන්ය; එය නම් රත්රන් ඇති මුළු හවීලා දේශය වටේට ගලායන එකය; 12ඒ දේශයේ රත්රන් හොඳය. බෙදොලඃද වෛදූර්යද එහි ඇත්තේය. 13දෙවෙනි ගංගාවේ නම ගීහොන්ය; මුළු කුෂ් දේශය වටේට වැටී තිබෙන්නේ ඒකය. 14තුන්වෙනි ගංගාවේ නම හිද්දෙකෙල්ය; අෂුර් දේශය ඉස්සරහින් ගලායන්නේ ඒකය. 15සතරවෙනි ගංගාව ප්‍රාත්ය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචිකෙරෙවූසේක. 16ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥාකරමින්: නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; 17එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක.
18ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි කීසේක. 19ස්වාමිවූ දෙවියන්වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවූසේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ. 20මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය; එහෙත් මනුෂ්‍යයාට සුදුසු සහකාරියක් සම්බනොවීය. 21ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට බරවූ නින්දක් පැමිණෙවූසේක, ඔහු නිදාගත්තේය; උන්වහන්සේ ඔහුගේ ඉළ ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය මාංසයෙන් පිරෙවූසේක. 22ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉළඇටයෙන් ස්ත්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙවූසේක. 23එවිට මනුෂ්‍යයා කථාකොට: මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය; මෑ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හෙයින් මනුෂ්‍ය දූයයි කියනුලබන්නී යයි කීය. 24එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය. 25තවද මනුෂ්‍යයාද ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියෝය, නුමුත් ඔව්හු ලජ්ජා නොවූහ.

Селектирано:

උත්පත්ති 2: SROV

Нагласи

Копирај

Спореди

Сподели

None

Дали сакаш да ги зачуваш Нагласувањата на сите твои уреди? Пријави се или најави се