උත්පත්ති 12

12
ආබ්‍රම්ගේ කැඳවීම
1 # ක්‍රියා 7:2-3; හෙබ්‍රෙ 11:8 සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹේ මවු බිම ද නුඹේ නෑදෑයන් ද නුඹේ පියාගේ ගෘහය ද අත්හැරදමා, මා පෙන්වන්නට යන දේශයට යන්න. 2මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.
3 # ගලා 3:8 නුඹට ආසිරි පතන අයට මමත් ආසිරි පතමි.
නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබමි.
නුඹ මගෙන් ආසිරි ලත් අයුරින් මිහි මත සව් සත ආසිරි ලබනු ඇතැ”යි
වදාළ සේක. 4ආබ්‍රම්ට වයස අවුරුදු හැත්තෑපහක් වූ කල සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ ලෙසට, ඔහු හාරාන් දේශයෙන් පිටත් විය. ලොත් ද ඔහු සමඟ ගියේය. 5මෙසේ ආබ්‍රම් සිය බිරිඳ වන සාරයි ද තම සොහොයුරාගේ පුත් වන ලොත් ද හාරාන් දේශයෙන් රැස් කරගත් සියලු සම්පත් හා දැසිදසුන් ද රැගෙන කානාන් දේශය බලා නික්ම ගොස් එහි සැපත් විය.
6ආබ්‍රම්, ඒ දේශය ඔස්සේ ගමන් කර ෂෙකෙම් නගරයේ ශුද්ධ භූමිය වන මොරේහි ආලෝන අරඹ දක්වා පැමිණියේ ය. එකල ඒ රටේ කානානිවරු සිටියෝ ය. 7#ක්‍රියා 7:5; ගලා 3:16 එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය. 8ඉන්පසු ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් පිහිටි කඳුකර පෙදෙසට ගමන් කෙළේ ය. මෙසේ ගමන් කොට, බටහිරින් බෙතෙල් නගරය ද, නැගෙනහිරින් ආයි නගරය ද අතර තම කඳවුර පිහිටුවාගත්තේ ය. එහි දී ඔහු පූජාසනයක් ඉදි කර සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේ ය. 9ඉන්පසු ඔහු එක තැනක නොරඳා අනුක්‍රමයෙන් ගොස් ‘නේගෙබ්’ ප්‍රදේශයට පැමිණියේ ය.
ආබ්‍රම් මිසර දේශයට පැමිණීම
10එහෙත්, ඒ දේශයෙහි සාගතයක් පැවතිණි. සාගතය අති උග්‍ර වූ බැවින්, ආබ්‍රම් තාවකාලික පදිංචියට මිසරයට ගියේය. 11ඔහු මිසරයට සමීප වූ කල සිය බිරිඳ වන සාරයි අමතා, “මට සවන් දෙන්න, ඔබ කෙතරම් සුරූපී කාන්තාවක් දැ යි මම දනිමි. 12මිසර වාසීන් ඔබ දුටු විට, ‘මේ ආබ්‍රම්ගේ බිරිඳ ය’යි කියා ඔබ ගැනීමට මා මරාදමා ඔබ බේරනු ඇත. එබැවින්, කරුණාකර, ‘මම ඔහුගේ සහෝදරී ය’යි ඔවුන්ට කියන්න. 13#උත් 20:2; 26:7 එවිට ඔබ නිසා ඔවුන් මාගේ පනත් බේරා මට හොඳින් සලකනු ඇතැ”යි කී ය. 14ආබ්‍රම් මිසරයට පිවිසි කල ඔහුගේ බිරිඳ ඉතා සුරූපී තැනැත්තියක බව මිසර වාසීහු දුටහ. 15පාරාවෝගේ ඇමතිවරු ඈ දැක, ඇගේ රූපශ්‍රීය ඔහුට වර්ණනා කෙළෙන් ඇය රජ මාලිගාවට ගෙනයනු ලැබුවා ය. 16රජ තෙමේ ද, ඇය නිසා ආබ්‍රම්ට හොඳින් සලකා ඔහුට එළු බැටළුවන් ද ගවයන් ද කොටළුවන් ද සේවක සේවිකාවන් හා කොටළු දෙනුන් හා ඔටුවන් ද ප්‍රදානය කෙළේ ය.
17එහෙත්, පාරාවෝ ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි තබාගත් බැවින්, පාරාවෝ රජුට ද රජ වාසල අයට ද සමිඳාණන් වහන්සේ ඉතා දරුණු වසංගත පැමිණෙවු සේක. 18එවිට පාරාවෝ ආබ්‍රම් කැඳවා, “ඔබ මට කළ මේ හදිය කුමක් ද? 19ඈ ඔබේ බිරිඳ බව මට නො කීවේ මන් ද? ඈ ඔබේ සහෝදරිය ය කියා මට කීවේ කුමක් නිසා ද? මා ඈ පාවා ගත්තේ ඒ නිසා ය. මෙන්න, ඔබේ බිරිඳ, ඇය රැගෙන පිටත් ව යන්නැ”යි කී ය. 20තවද, පාරාවෝ සිය පිරිසට ද අණ දුන් බැවින්, ඔව්හු ආබ්‍රම්, ඔහුගේ බිරිඳ සහ ඔහු සන්තක සියල්ල ද සමඟ රටින් පිටත් කර හැරියෝ ය.

Šiuo metu pasirinkta:

උත්පත්ති 12: SNRV

Paryškinti

Kopijuoti

Palyginti

Dalintis

None

Norite, kad paryškinimai būtų įrašyti visuose jūsų įrenginiuose? Prisijunkite arba registruokitės