Logo ya YouVersion
Elilingi ya Boluki

උත්පත්ති 33

33
ජාකොබ් ඒසව් හා සමගි වීම
1ජාකොබ් නෙත් ඔසවා බැලූ විට, පුදුමයකි, ඒසව් ද ඔහු සමඟ හාරසියයක පිරිසක් ද එනු දිටී ය. එවිට ඔහු ලෙයා, රාකෙල් සහ සේවිකාවන් දෙදෙන අතර දරුවන් බෙදා දී, 2සේවිකාවන් සහ ඔවුන්ගේ දරුවන් ඉස්සරහින් සිටෙව්වේ ය. ඔවුන්ට පිටුපසින් ලෙයා සහ ඇගේ දරුවන් ද ඔවුන්ටත් පිටුපසින් රාකෙල් සහ ජෝසෙප් ද සිටෙව්වේ ය. 3ජාකොබ් ද ඔවුන්ට පෙරටුව ගොස්, තම සොහොයුරා වෙත පැමිණෙන තෙක් සත් වරක් බිමට නැමී වැන්දේ ය. 4එවිට ඒසව් ඔහු හමුවීමට දිව ගොස් ඔහු බදාගෙන, ඔහුගේ ගෙල වැළඳගෙන ඔහු සිඹගත්තේ ය. පසුව ඔව්හු අඬන්නට වූ හ. 5ඒසව් නෙත් ඔසවා බැලූ විට, ස්ත්‍රීන් හා දරුවන් දැක, “ඔබ සමඟ සිටින මේ අය කාගේ දැ”යි ඇසූ විට, ජාකොබ් පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ දාසයා හට කරුණාව පා දුන් දරුවෝ ය”යි කී ය. 6එවිට සේවිකාවෝ ද ඔවුන්ගේ දරුවෝ ද ළඟට පැමිණ, ආචාර කළහ. 7ලෙයා තම දරුවන් සමඟ පැමිණ ආචාර කළ පසු ජෝසෙප් සහ රාකෙල් ද ළඟට පැමිණ ආචාර කළහ.
8එවිට ඒසව් ජාකොබ්ට කතා කොට, “මට හමු වූ මේ සතුන් සියල්ලන් ම කුමක් පිණිස දැ”යි ඇසූ විට, “මාගේ ස්වාමීන් ඉදිරියෙහි අනුග්‍රහය ලැබීම පිණිස යැ”යි ඔහු උත්තර දුනි. 9එකල ඒසව් කතා කොට, “මා සොහොයුර, මට උවමනා තරම් ඇත. ඔබට අයිති දේ ඔබ ම තබා ගන්නැ”යි කීවේ ය. 10එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “එසේ නො වේ වා, කරුණාකර ඔබ ඉදිරියෙහි මම ඔබේ ප්‍රසාදය ලදිම් නම්, මා අතින් මාගේ තෑග්ග පිළිගන්න. ඔබ මා සාදරයෙන් පිළිගන්නෙහි නම්, මට ඔබේ මුහුණ දැකීම හරියට දෙවියන් වහන්සේගේ මුහුණ දැකීම හා සමාන ය. 11එබැවින්, කරුණාකර ඔබ වෙත ගෙනා මාගේ තිළිණය පිළිගන්න. මන්ද, දෙවියන් වහන්සේ මට කරුණා පෑ බැවින් මට උවමනා තරම් ඇතැ”යි කියා ඔහුට පෙරැත්ත කළෙන් ඒසව් එය බාරගත්තේ ය.
12පසුව ඒසව්, “අපි ගමනට පිටත් ව යමු. මම ඔබට පෙරටුව යන්නෙමි”යි කී විට, 13ජාකොබ් ද පිළිතුරු දෙමින්, “දරුවන් සුකුමාර බවත්, පැටියන් සහිත බැටළු පට්ටි හා ගව පට්ටි මට ඇති බවත් ස්වාමීන්ට පෙනේ. එක දවසක් වත්, මිනිසුන්, පමණට වඩා ඉක්මන් කර සතුන් දැක්කුවොත් මුළු රැළ මැරී යනු ඇත. 14කරුණාකර, මාගේ ස්වාමීහු ඔහුගේ දාසයාට පෙරටුව යෙත් වා. මට ඉස්සරහින් යන ගවයන්ට හා දරුවන්ට යත හැකි ප්‍රමාණයට, සේයිර්හි මාගේ ස්වාමීන් වෙත පැමිණෙන තෙක් හෙමින් හෙමින් ගමන් කර මම එන්නෙමි”යි කීවේ ය.
15එවිට ඒසව් කතා කොට, “එසේ නම් මා සමඟ සිටින පිරිසෙන් සමහර දෙනෙකු ඔබ සමඟ නවතාලමි”යි කී විට ජාකොබ් ද, “එවැන්නක් කුමට ද? මට උවමනා මා ස්වාමීන්ගේ ප්‍රසාදය පමණකි”යි උත්තර දුනි. 16ඉන්පසු එදින ඒසව් සේයිර් බලා ආපසු ගියේය. 17එහෙත් ජාකොබ් සුක්කොත් දක්වා ගොස්, තමා ම ගෙයක් ඉදි කොට, සිය ගවයන් සඳහා මඩු තැනී ය. එබැවින් එම ස්ථානයට සුක්කොත් යන නම තබන ලදී.
18මෙලෙස ජාකොබ් මෙසොපොතේමියාවේ සිට ආපසු අවුත් කානාන් දේශයේ ෂෙකෙම් නුවරට සුවෙන් සැපත් ව, නුවර ඉදිරියෙහි සිය කඳවුර බැඳී ය. 19#ජෝෂු 24:32; ජොහ 4:5 තවද ඔහු ෂෙකෙම්ගේ පිය වූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන්, සිය කඳවුර පිහිටෙවූ බිම් කැබැල්ල රිදී කාසි සියයක් ගෙවා මිලට ගත්තේ ය. 20එහි ඔහු පූජාසනයක් ඉදි කර, ඊට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේ යන අර්ථය ඇති ‘එල්-එලෝහේ-ඉශ්රායෙල්’ යන නාමය තැබී ය.

Tya elembo

Copy

Kokisana

Kabola

None

Olingi kobomba makomi na yo wapi otye elembo na baapareyi na yo nyonso? Kota to mpe Komisa nkombo