උත්පත්ති 32
32
ජාකොබ් ඒසව් හමු වීමට සූදානම් වීම
1ජාකොබ් තම ගමන යන විට, ඔහුට දෙවියන් වහන්සේගේ දූතයෝ මුණගැසුණාහ. 2ඔහු ඔවුන් දුටු විට, “මේ දෙවියන් වහන්සේගේ සේනාව ය” කියා ඒ ස්ථානයට මහනායිම් යන නම තැබී ය.
3තවද, ඔහු ඒදොම් දේශයේ සේයිර් රටේ තම සොහොයුරු වන ඒසව් වෙත තමාට පෙරටුවෙන් දූතයන් යැවී ය. 4ඔහු ඔවුන්ට අණ කරමින්, “නුඹලා මාගේ ස්වාමීන් වන ඒසව්ට කතා කොට, ‘ඔබේ දාසයා වන ජාකොබ් මෙසේ කියන්නේ ය: මම ලාබන් සමඟ නැවතී, මෙතෙක් එහි සිටියෙමි. 5තවද, ගවයන් ද කොටළුවන් ද එළු බැටළු පට්ටි ද දැසිදසුන් ද මට ඇත. ඔබ ඉදිරියෙහි ප්‍රසාදය ලබන පිණිස මම මාගේ ස්වාමීන් හට දැන්වීමට මෙම පණිවුඩය එවමි’යි සැළ කළ යුතු යැ”යි කීවේ ය.
6දූතයෝ ජාකොබ් වෙත ආපසු විත්, “අපි ඔබ සොහොයුරු වන ඒසව් වෙත ගියෙමු, ඔහු ද ඔබ හමු වීමට එන්නේ ය. ඇරත් ඔහු සමඟ හාරසියයක පිරිසක් සිටිති”යි කී හ. 7ජාකොබ් අතිශයින් බියවී කැළඹිණි. ඔහු තමා කැටුව සිටි පිරිස ද එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද ඔටුවන් ද කණ්ඩායම් දෙකකට බෙදා, 8“ඒසව් යම් විටක එක කණ්ඩායමක් වෙත පැමිණ, ඊට පහර දුන්නොත්, ඉතිරි අනික් කණ්ඩායමට ගැළවී යත හැකි ය”යි සිතී ය.
9ජාකොබ් තවදුරටත් කතා කරමින්, “මා පිය ආබ්‍රහම්ගේ දෙවිඳුනි, මා පිය වූ ඊසාක්ගේ දෙවිඳුනි, ‘ඔබේ දේශයට ද ඔබේ ඥාතීන් වෙත ද ආපසු යන්න, මම ඔබට යස ඉසුරු සලසන්නෙමි’යි මට වදාළ ස්වාමීනි, 10ඔබ වහන්සේගේ දාසයා වන මා හට පෑවා වූ සියලු කරුණාව හා විශ්වාසවන්තකම ලැබීමට මා සුදුස්සෙක් නොවෙමි. මන්ද, මා මේ ජොර්දානෙන් එතෙර වූයේ මාගේ සැරයටියේ ආධාරයෙන් පමණ ය. එහෙත්, දැන් මා කණ්ඩායම් දෙකක් වී ඇත. 11ඔබ වහන්සේ කරුණාකර, මාගේ සහෝදරයාගේ බලයෙන්, ඒසව්ගේ අතින්, මා මුදාගත මැනව. ඔහු අප වෙත පැමිණ මටත්, මවුවරුන්ටත්, දරුවන්ටත් පහර දෙති යි මම ඔහුට බිය වෙමි. 12#උත් 22:17 ඇරත්, ‘මම ඔබට ඇත්තෙන් ම ඉසුරු සලසන්නෙමි, ඔබේ පෙළපත ද මුහුදේ වැලි මෙන් ගණනින් විශාල වන ලෙස වැඩි කරන්නෙමි’ කියා ද ඔබ වහන්සේ වදාළ සේකැ”යි පැවසී ය.
13ඔහු මෙසේ පවසා එම රාත්‍රිය එහි ගත කර, තම සොහොයුරු වන ඒසව් හට තමා ළඟ තිබුණු දෙයින් තෑග්ගක් ද තෝරා ගත්තේ ය. ඒ තෑග්ග නම්: 14එළු දෙනුන් දෙසියයක් ද එළුවන් විස්සක් ද බැටළු දෙනුන් දෙසියයක් ද බැටළුවන් විස්සක් ද 15කිරි දෙන ඔටු දෙනුන් තිහක් හා උන්ගේ වස්සන් ද එළ දෙනුන් සතළිසක් ද ගොනුන් දහයක් ද කොටළු දෙනුන් විස්සක් හා කොටළුවන් දහයක් ද වූ හ. 16ඉන්පසු ඔහු මේ රංචු, වෙන්, වෙන් වශයෙන් තම මෙහෙකරුවන්ට බාර දී, “නුඹලා රංචුවෙන් රංචුව ඈත් කර මට පෙරටුව යන්නැ”යි කීවේ ය.
17තවද, ඔහු, මුලින් ම ගිය මෙහෙකරු අමතා, “මාගේ සොහොයුරු ඒසව් ඔබ හමු වී, ‘ඔබ කාගේ කවු ද? ඔබ යන්නේ කොහේ ද? ඔබට පෙරටුව දක්කාගෙන යන මේ සත්තු කාගේ ද?’ කියා ඇසූ විට, 18‘මේ සත්තු ඔබ සහෝදර ජාකොබ්ගේ ය, මා ස්වාමීන් වන ඒසව් වෙත ඔහු එවන තෑග්ගකි. ඇරත් ඔහු ද අප පසුපස්සේ එන්නේ ය’යි කියන්නැ”යි අණ කෙළේ ය. 19මෙසේ ඔහු දෙවැනියාටත්, තුන්වැනියාටත්, සතුන් රංචු දක්කාගෙන ගිය සියල්ලන්ටත් අණ කරමින්, “නුඹලාට ඒසව් මුණගැසුණු විට ඔහුට මෙලෙස කියන්න. 20ඇරත්, ‘ඔබේ සේවක ජාකොබ් අපට පිටුපසින් එන්නේ ය’ කියා ද පවසන්නැ”යි කීවේ ය. මන්ද, ‘මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහුගේ සිත දිනාගත් පසු මට ඔහු මුණගැසෙන්න හැකි වනු ඇතැ යි ද, එවිට, ඔහු මා පිළිගන්නේ ය’යි ද ඔහු සිතී ය. 21මෙලෙස ඔහු තමාට පෙරටුව තෑගි හැරිය නමුත් ඔහු ඒ රාත්‍රිය කඳවුරෙහි ගත කෙළේ ය.
ජාකොබ්ගේ අද්භූත පොරබැදීම
22ඒ රාත්‍රියේ ඔහු නැඟිට, තමාගේ භාර්යාවන් දෙදෙන ද සේවිකාවන් දෙදෙන ද පුතුන් එකොළොස්දෙන ද රැගෙන ජබ්බොක් නම් තොටුපොළෙන් එගොඩ විය. 23ඔහු ඔවුන් රැගෙන ගඟින් එගොඩ කළ පසු, තමා සතු දේ ද එතෙරට යැවී ය. 24#හොසි 12:3-4 එහෙත් ජාකොබ් තනි ව සිටියේ ය.
එවිට එක්තරා මිනිසෙක්, පහන් වන තුරු ඔහු සමඟ පොරබැදී ය. 25ඒ තැනැත්තා ද ජාකොබ්ගෙන් තමාට ජය නොලැබෙන බව දුටු විට, ඔහුගේ කලවා සන්ධියට පහරක් ගැසී ය. එවිට ඔහුගේ කලවා සන්ධිය විසන්ධි විය. 26ඒ තැනැත්තා ද, “පහන් වේගන එන බැවින් මට යන්න හරින්නැ”යි කී විට ජාකොබ්, “ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි”යි උත්තර දුනි. 27එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ”යි ඇසූ විට ඔහු ද, “ජාකොබ්” යයි කීයෙන්, 28#උත් 35:10 “මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය. 29#වීරා 13:17-18 ජාකොබ් කතා කොට, “කරුණාකර ඔබේ නම ද මට කියන්නැ”යි ඉල්ලී ය. එවිට ඔහු, “ඔබ, මාගේ නම අසන්නේ මන්දැ”යි කියා ජාකොබ්ට එහි දී ආශීර්වාද කෙළේ ය.
30“මා දෙවියන් වහන්සේ මුහුණට මුහුණ ලා දුටු පසුත් මාගේ ජීවිතය තවමත් ආරක්ෂා වී ඇත” කියා ජාකොබ් එම ස්ථානයට පෙනුයෙල් යයි නම තැබී ය. 31ඔහු ද පෙනුයෙල් පසු කර යද්දී, ඉර උදාවිය. තමාගේ කලවයේ වේදනාව නිසා ඔහු කොරගසමින් ගියේය. 32මේ සිද්ධිය නිසා ඉශ්රායෙල් ජනතාව කලවා සන්ධිය මත වූ මස් ගොබය අද දක්වා අනුභව නොකරති. ඒ මන්ද, ජාකොබ් පහර ලද්දේ කලවයේ එම සන්ධියට බැවිනි.
Currently Selected:
උත්පත්ති 32: SNRV
Tya elembo
Copy
Kokisana
Kabola
Olingi kobomba makomi na yo wapi otye elembo na baapareyi na yo nyonso? Kota to mpe Komisa nkombo