උත්පත්ති 34
34
ජාකොබ්ගේ දුව දූෂණය කරනු ලැබීම
1ජාකොබ්ට දාව ලෙයා ලැබූ දුව වන දීනා, දේශයේ කාන්තාවන් හමුවීමට නික්ම ගියා ය. 2එවිට දේශයේ අධිපති වූ, හිවීය ජාතික හාමොර්ගේ පුත්, ෂෙකෙම් ඈ දැක, ඈ පැහැරගෙන ගොස් ඈ සමඟ සැතපී, ඈ දූෂණය කෙළේ ය. 3ඔහුගේ සිත ද ජාකොබ්ගේ දුව වන දීනා කෙරෙහි තදින් ඇදී ගියෙන්, ඔහු තරුණියට පෙම් කර, ඈ අස්වැසී ය. 4ෂෙකෙම් සිය පියා වන හාමොර්ට කතා කොට, “මේ තරුණිය මට බිරිඳ කොට ලබා දෙන්නැ”යි ඉල්ලී ය.
5ඔහු තම දුව වන දීනා දූෂණය කළ බව ජාකොබ් දැනගත්තේ ය. එකල ඔහුගේ පුතුන්, ඔහුගේ ගවයන් සමඟ තණ පිට්ටනියේ සිටිය බැවින්, ඔවුන් එන තෙක් ජාකොබ් නිහඬ ව සිටියේ ය. 6ෂෙකෙම්ගේ පියා වන හාමොර් ද ජාකොබ් සමඟ කතා කිරීමට ඔහු වෙත පිටත් ව ගියේය. 7ජාකොබ්ගේ පුත්‍රයන් තණ පිට්ටනියෙන් පැමිණි පසු ඔව්හු මෙය අසා, කම්පා වී කෝපාවිෂ්ට වූ හ. මන්ද, ෂෙකෙම්, ජාකොබ්ගේ දුව දූෂණය කිරීමෙන් ඉශ්රායෙල් ජනයා අතර නොකටයුතු සැහැසිකමක් කළ හෙයිනි. 8හාමොර් ද ඔවුන් සමඟ කතා කරමින්, “මාගේ පුත්‍ර ෂෙකෙම්, ඔබේ දියණියට පෙම් බැඳ සිටියි. ඇය ඔහුට භාර්යාව මෙන් පාවා දෙන ලෙස මම අයැද සිටිමි. 9ඇරත්, ඔබ අප සමඟ විවාහ ගිවිසුම් කරගන්න. ඔබේ දූවරුන් අපට දී, අපේ දූවරුන් ඔබ ගන්න. 10මෙලෙස ඔබට අප සමඟ වාසය කළ හැක. රට ද ඔබ ඉදිරියෙහි ඇත. එහි වාසය කොට, නිදහසේ වෙළහෙළඳාම් කර වතුපිටි අයිති කරගන්නැ”යි කී ය.
11එවිට ෂෙකෙම් ඇගේ පියාට හා ඇගේ සොහොයුරන්ට කතා කොට, “ඔබ හැම මට කරුණාව පෙන්වනු මැනව! ඔබ මාගෙන් යමක් ඉල්ලන්නහු ද, එය මම දෙන්නෙමි. 12තරුණිය මට භාර්යාව කොට දෙන්නහු නම්, ඉතා විශාල දායාදයක් හා තෑගි බෝග මාගෙන් ඉල්ලන්න, ඔබ මාගෙන් ඉල්ලන ඕනෑ ම දෙයක් මම ඔබට දෙන්නෙමි”යි කීවේ ය.
13ෂෙකෙම්, ඔවුන්ගේ සහෝදරී වන දීනා දූෂණය කළ බැවින් ජාකොබ්ගේ පුත්‍රයෝ ද ෂෙකෙම් සහ ඔහුගේ පියා වන හාමොර්ට කපටි ලෙස උත්තර දුන්හ. 14“අපට මෙබඳු දෙයක් කළ නොහැක. අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරී දීම අපට නින්දාවකි. 15එහෙත් ඔබ අතර සෑම පිරිමියෙක් ම චර්මඡේදිත වී අප හා සමාන වන්නහු නම්, ඔබ කියන දේට අපට එකඟ විය හැක. 16එවිට අපේ දූවරුන් දී ඔබේ දූවරුන් අපි ගන්නෙමු. ඇරත් අපි ඔබ සමඟ වාසය කරමින් එක ජනතාවක් වන්නෙමු. 17එහෙත් ඔබ චර්මඡේදිත වීම ගැන අපට ඇහුම්කන් නොදෙන්නහු නම්, අපි අපේ දුව රැගෙන යන්නෙමු”යි කීවෝ ය.
18ඔවුන්ගේ කීමට හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම් කැමැති වූ හ. 19තරුණයා ද ජාකොබ්ගේ දුවට ඇලුම් ව සිටි බැවින්, ඔහු ද යෝජිත දේ කිරීමට පමා නො වී ය. තවද, ඔහු තම පියාගේ ගෘහයේ ඉතා ම වැදගත් තැනැත්තා විය.
20එබැවින් හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම්, නුවර වාසල් දොරටුවට අවුත්, නුවර වැසියන් සමඟ කතා කරමින්, 21“මේ මිනිසුන් අපට හිතවත් ය. එබැවින් රටෙහි පදිංචි වී, එහි නිදහස් ව යන්න එන්න ඔවුන්ට ඉඩ හරිමු. බලන්න, රටෙහි ඔවුන්ටත් සෑහෙන තරම් ඉඩ ඇත. අපි ඔවුන්ගේ දූවරුන් භාර්යාවන් කොට ගෙන, අපේ දූවරුන් ඔවුන්ට දෙමු. 22එහෙත්, අප සමඟ එකට වාසය කර එක සෙනඟක් වීමට ඒ මිනිසුන් කැමැති වන්නේ, අප අතර සිටින සෑම පිරිමියෙකු ම, ඔවුන් චර්මඡේදිත වී ඇති ලෙස, චර්මඡේදිත වුවහොත් පමණ ය. 23ඔවුන්ගේ ගව පට්ටි ද ඔවුන්ගේ වස්තුව ද ඔවුන්ගේ සියලු සතුන් ද අපේ නොවන්නේ ද? එබැවින් අපි ඔවුන් හා එකඟ වෙමු. එවිට ඔව්හු අප සමඟ වාසය කරන්නෝ ය”යි කී හ. 24වාසල් දොරටුවෙන් පිට වූ සියල්ලෝ ම හාමොර්ට සහ ඔහු පුත් ෂෙකෙම්ට ඇහුම්කන් දුන්හ. මෙලෙස වාසල් දොරටුවෙන් පිට වූ සියලු ම පිරිමි චර්මඡේදනය කරනු ලැබූ හ.
25තුන් දිනකට පසු, ඔවුන් තවමත් තුවාළවලින් වේදනා විඳින කල්හි, ජාකොබ්ගේ පුතුන් දෙදෙනෙකු වන, සිමියොන් සහ ලෙවී යන දීනාගේ සහෝදරයෝ, තම කඩු රැගෙන, රහසින් නුවරට වැද, සියලු පිරිමින් මරාදැමූ හ. 26තවද, ඔව්හු හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම් ද කඩු පහරින් මරා, ෂෙකෙම්ගේ ගෙයින් දීනා රැගෙන පිට වී ගියහ. 27ජාකොබ්ගේ පුත්‍රයෝ ද තුවාළ ලැබූවන් පිටට පැන පහර දී නුවර කොල්ලකෑ හ. මන්ද, ඔහු තම සොහොයුරී දූෂණය කළ හෙයිනි. 28ඔව්හු ඔවුන්ගේ එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද කොටළුවන් ද නුවර හා පිට්ටනියේ තැබූ දේ ද 29ඔවුන්ගේ වස්තුව ද ගත්තෝ ය. ඔවුන්ගේ සියලු ම කුඩා දරුවන් ද භාර්යාවන් ද අල්ලාගෙන, ඔවුන්ගේ ගෙවල තිබූ සියල්ල ද කොල්ලකෑ හ.
30එවිට ජාකොබ් සිමියොන්ට සහ ලෙවීට කතා කොට, “මේ දේශයේ වැසියන් වන කානානිවරුන් සහ පෙරිස්සිවරුන් අතර, මා දුගඳක් මෙන් පිළිකුලට ලක් කිරීමෙන් නුඹලා මට ලොකු අවැඩක් කර තිබේ. මට ඇත්තේ ගණනින් සුළු පිරිසකි. එබැවින් ඔවුන් මට විරුද්ධ ව එක පෙරමුණක් ගෙන, මා මරාදමනු ඇත. මෙසේ මාගේ මුළු පවුලත් මමත් විනාශ වී යන්නෙමු”යි කී ය. 31එවිට ඔව්හු උත්තර දෙමින්, “ඔහු අපේ සහෝදරිය වෙසඟනක ලෙස සැලකීම හරි දැ”යි ඇසූ හ.
Currently Selected:
උත්පත්ති 34: SNRV
Tya elembo
Copy
Kokisana
Kabola
Olingi kobomba makomi na yo wapi otye elembo na baapareyi na yo nyonso? Kota to mpe Komisa nkombo