මීකා 4

4
ස්වාමින්වහන්සේගේ කන්ද
1අවසන් දවස්හි දී,
ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්ද,
කඳු අතරේ උසස් ම කන්ද වශයෙන් පිහිටුවනු ලබන්නේ ය.
කඳු ගැටවලට ඉහළින් එය ඔසවනු ලැබේ;
ජනයෝ ඒ වෙත ගලා එන්නෝ ය.
2බොහෝ ජාතීන් අවුත්,
“එමු, අපි ස්වාමින්වහන්සේගේ කන්දට නැග යමු,
යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයට යමු.
ස්වකීය මාවත්වල අප පියමං කරන පිණිස,
උන්වහන්සේ තම මාර්ග අපට උගන්වනු ඇතැ” යි කියනු ඇත.
මන්ද ව්‍යවස්ථාව, සියොන වෙතින් ද
ස්වාමින්වහන්සේගේ වචනය යෙරුසලම වෙතින් ද පිටත් ව එන්නේ ය.
3උන්වහන්සේ බොහෝ ජනයින් අතරේ විනිශ්චය ඉටු කොට,
ඈත එපිට බලවත් ජාතීන් අතරේ ආරවුල් සමථය කරන සේක.
ඔවුන් තම කඩුපත්වලින්, නඟුල් තල ද
තම හෙල්ලවලින්, කප්පාදු කැති ද තලාගනු ඇත.
ජාතියකට එරෙහිව ජාතියක් අසිපත් දරන්නේවත්,
තවත් ඔවුන් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.
4ඔවුන් හැම කෙනෙක් ම තම තමාගේ මිදි වැල සහ
තම අත්තික්කා ගස යට වසනු ඇත.
කිසිවකු ඔවුන් බය ගන්වන්නේ නැත.
මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේගේ මුවින් එසේ පවසා ඇත.
5හැම ජාතියක් ම
තමන් අදහන දෙවියන් අනුව යති;
එහෙත් අපි: සදහට ම අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ
නාමය අනුව යන්නෙමු.
ස්වාමින්ගේ සැලැස්ම
6 ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක:
“ඒ දවසේ මම කොරුන් එක් රැස් කරන්නෙමි.
රටින් නෙරපනු ලැබූවන් ද
මවිසින් පීඩාවට පමුණුවනු ලැබූවන් ද මම එක් රැස් කරන්නෙමි.
7ඉතිරි ස්වල්ප දෙනකු බවට මම කොරවූවන් පත් කරන්නෙමි;
නෙරපනු ලැබූවන් බලවත් ජාතියක් කරන්නෙමි.
ඒ දවසේ පටන් සදහට ම
ස්වාමින්වහන්සේ සියොන් කන්දේ සිට ඔවුන්ට රජකම් කරන සේක.
8එම්බා මගේ රංචුවේ මුර ටැඹ,
එම්බා සියොන් දියණියගේ කන්ද,
පළමු ආධිපත්‍යය ඔබට යළි ස්ථාපිත කෙරේ.
යෙරුසලම් දියණිය වෙත රජකම පැමිණේ.”
9ඔබ දැන් මහ හඬින් හඬන්නේ ඇයි?
ඔබට රජකු නැති නිසා ද?
ගැබිනියකගේ ප්‍රසවයේදී මෙන් ඔබට වේදනාව අල්ලා ඇත්තේ,
ඔබගේ ගුරු-උපදේශකයා විනාශ වූ නිසා ද?
10අහෝ සියොන් දියණිය, ප්‍රසවයේදී ගැබිනියක සේ
වේදනාවෙන් ඇඹරෙන්න.
මන්ද, පිටත කඳවුරු ගසාගනු පිණිස,
ඔබ දැන් පුරයෙන් පිට වී යන්නට ඕනෑ ය.
ඔබ බබිලෝනියට යනු ඇත.
එහිදී ඔබ මුදා ගනු ලබති.
එහිදී ඔබේ සතුරන් අතින්
ස්වාමින්වහන්සේ ඔබ ගලවා ගනු ඇත.
11එහෙත් දැන්, බොහෝ ජාතීන්
ඔබට එරෙහිව රැස් කෙරේ.
ඔවුහු මෙසේ කියති: “ඇය දූෂ්‍ය වුණා වේ!
අපේ දෑස් සියොන දෙස සතුටින් බලා හිඳීවා!”
12එහෙත්, ස්වාමින්වහන්සේගේ සිතුවිලි
ඔවුන් දන්නේ නැත.
උන්වහන්සේගේ සැලසුම් ඔවුනට නො වැටහේ.
මන්ද, පාගන කමතට ගොයම් මිටි සේ, ඔවුන් එකතු කර ගෙනැවිත් ඇත්තේ උන්වහන්සේ ය.
13“එම්බා සියොන් දියණිය, නැගිට පාගන්න,
මම නුඹට යකඩ අං දෙන්නෙමි;
මම නුඹට ලෝකඩ කුර ද දෙන්නෙමි.
ඒවායින් නුඹ බොහෝ ජාතීන් කැබලි කර කඩනු ඇත.”
ඔවුන්ගේ අයුතු වාසි, ඔබ ස්වාමින්වහන්සේට කැප කරනු ඇත.
ඔබ, ඔවුන්ගේ වස්තුව, මුළු පොළොවේ ස්වාමින්වහන්සේට කැප කරනු ඇත.

선택된 구절:

මීකා 4: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요