හොෂෙයා 13

13
දේව උදහස
1එප්‍රායිම් කතා කළ කල්හි වෙවුලුමක් ඇති විය.
ඉශ්‍රායෙල් වංශ අතරේ ඔහු උසස් කරනු ලැබිණ.
එහෙත් බාල් වන්දනාව හේතු කොට, වරදට පත් ව, ඔහු මැරී ගියේ ය.
2දැන් ඔවුහු වඩ වඩා පව් කරති,
තමනට ලෝහ පිළිම හදා ගනිති;
තම රිදීවලින් දේව පිළිම මනාව හැඩ ගන්වා ඇතත්,
ඒ සියල්ල නිර්මාණ ශිල්පීය නිමැවුමකි.
මේ ජනයා ගැන කියා ඇත්තේ,
“ඔවුහු මිනිස් බිලි යාග කරමින්,
ගව-පිළිමය සිප ගනිති” කියා ය.
3එබැවින් ඔවුන් උදෑසන මී-දුම වැන්න;
උදෙන් ම වියැකී යන පින්න වැන්න;
සුළඟට ගසා ගෙන යන කමතේ පරඬලා වැන්න;
කවුළු දොරින් පිට වී යන දුම්-රොටු වැන්න.
4“එහෙත් ඊජිප්තු දේශයේ පටන්
මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය.
මා හැර අන් දෙවියන්වහන්සේ කෙනකු හෝ
මා හැර අන් ගැලවුම්කරුවාණන් කෙනකු හෝ ඔබ හැඳින නැත.
5පාළුකරය තුළ, ගිනියම් කතර තුළ
නුඹ රැක බලා ගත්තේ මම ය.
6මා ඔවුන් පෝෂණ කළ විට ඔවුහු සෑහීමට පත් වූහ.
එසේ සෑහීමට පත් වූ කල, ඔවුහු අහංකාර වූහ.
ඉන්පසු ඔවුහු මා අමතක කළහ.
7එබැවින් මම ඔවුනට සිංහයකු මෙන් වෙමි.
දිවියකු මෙන් ඔවුන් යන මග රහසේ රැක සිටිමි.
8පැටවුන් නැති වූ වැලහින්නියක සේ
මම ඔවුන් පිට පැන, ඔවුන්ගේ පපු පෙදෙස් ඉරා දමන්නෙමි.
සිංහයකු සේ මම ඔවුන් කා දමන්නෙමි.
චණ්ඩ මෘගයකු සේ ඔවුන් ඉරා, වෙන් කර දමන්නෙමි.
9“එම්බා ඉශ්‍රායෙල්! නුඹලාට විනාශය ය!
නුඹලා මට නුඹලාගේ උපකාරකරුවාණන්ට එරෙහි වූවාහු ය.
10කෝ! නුඹලාගේ සියලු නගරවලින් නුඹලා ගලවා ගන්නට නුඹලාගේ රජු කොහේ ද?
නුඹලාගේ පාලකයින් කොහේ ද?
‘අපට රජකුත්, අධිපතීනුත් දෙන්නැ’ යි
නුඹලා කීවේ මොවුන් ගැන නො වේ ද?
11මා නුඹලාට රජකු දුන්නේ මගේ කෝපයෙනි;
මගේ උදහසින් යුක්ත ව මම ඔහු ඉවත් කළෙමි.
12එප්‍රායිම්ගේ අපරාධය, ගබඩා කර ඇත.
ඔහුගේ පාප, ලේඛනගත කර තබා ඇත.
13ප්‍රසූතියකදී ඇති වන විලිරුජා ඔහුට ද අල්ලන්නේ ය.
එහෙත් ඔහු අනුවණ දරුවෙකි.
එබැවින් නිසි වෙලාව පැමිණිය ද
මවු කුසෙන් පිටතට ඔහු එන්නේ නැත.
14“වන්දිය ගෙවා, ෂෙයෝලයෙන්#13:14 පාතාලයෙන් හෙවත් මළවුන්ගේ ස්ථානයෙන් මම ඔවුන් නිදහස් කරම් ද?
මරණයෙන් මම ඔවුන් මුදා ගනිම් ද?
එම්බා මරණය, නුඹගේ වසංගත කොහේ ද?
එම්බා මිනී වළ, නුඹගේ විනාශය කොහේ ද?
“අනුකම්පාව මගේ දෑසින් සඟවා ඇත.
15තම සහෝදරයින් අතරේ ඔහු සඵල වුව ද,
පෙරදිග සුළඟක් ස්වාමින්වහන්සේ වෙතින්
කාන්තාරයේ සිට නැග එන්නේ ය;
එමඟින් ඔහුගේ දිය උල්පත සිඳී යන්නේ ය.
ඔහුගේ ළිඳ වියැකී යන්නේ ය.
ඔහුගේ ගබඩාවේ තිබෙන සියලු වස්තුව
කොල්ලකනු ලැබේ.
16සමාරියේ ජනයා තමන්ගේ දෙවියන්වහන්සේට විරුද්ධ ව කැරලි ගැසූ නිසා,
ඔවුන් ම තමන්ගේ වරද දැරිය යුතු ය.
ඔවුන් කඩු පහර කා, වැටී යනු ඇත.
ඔවුන්ගේ කුඩා දරුවන් පොළොවේ ගසනු ලබනු ඇත.
ඔවුන්ගේ ගැබිනියන් ඉරා දමනු ලබනු ඇත.”

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요