හොෂෙයා 14

14
පසුතැවිල්ලට ඇරියුම්
1එම්බා ඉශ්‍රායෙල්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත හැරී එන්න.
ඔබේ වැටී යෑමට හේතුව ඔබේ අයුතුකමයි.
2වචන රැගෙන,
ස්වාමින්වහන්සේ වෙත හැරී එන්න.
උන්වහන්සේ අමතා මෙසේ කියන්න:
“අපේ අයුතුකම් සියල්ල පහ කරන්න.
හොඳ දේ පිළිගන්න.
අපේ තොල්වල පූජා, ගවයින් මෙන් අපි පුදන්නෙමු.
3අසිරියාව අප ගලවන්නේ නැත.
අශ්වයින් පිට අප නැගී යන්නේ නැත.
අපේ ම අත්වලින් තැනුණු පිළිම රූපවලට
‘අපේ දෙවියන්වහන්සේ යැ’ යි තවදුරටත් අප කියන්නේ නැත.
ඔබ තුළ අනාථයින්ට අනුකම්පාව ඇත.”
4“පසුබටවීමේ ඔවුන්ගේ ස්වභාව මම සුව කරන්නෙමි.
නිදහස් සිතින් ඔවුන්ට ප්‍රේම කරන්නෙමි.
මන්ද මගේ කෝපය ඔවුන් වෙතින් ඉවත හැරී ඇති බැවිනි.
5මම ඉශ්‍රායෙල්ට පින්න මෙන් වන්නෙමි.
ඔහු මානෙල් මලක් මෙන් විකසිත වනු ඇත.
ලෙබනොන්හි දේවදාර ගසක් මෙන්
ඔහු ගැඹුරට ම මුල් අදිනු ඇත.
6ඔහු දළු-රිකිලි ලා, වැඩෙනු ඇත.
ඔහුගේ අලංකාරය, ඔලීව ගසක් මෙන් ද
ඔහුගේ සුගන්ධය, ලෙබනොන්හි දේවදාර ගසක් මෙන් ද වන්නේ ය.
7යළිත් ඔහුගේ සෙවණේ මිනිසුන් වාසය කරනු ඇත.
ධාන්‍ය සේ ඔවුන් සශ්‍රීක වනු ඇත.
මිදි වැලක් සේ මල්ඵල දරනු ඇත.
ඔහුගේ කීර්තිය ලෙබනොනයේ මිදි යුෂවල මෙන් වනු ඇත.
8එම්බා එප්‍රායිම්, පිළිම සමඟ තවත් මට ඇති කාරිය කිම ද?
ඔහුට උත්තර දෙන්නේ මම ය; ඔහු බලා-කියාගන්නේ ද මම ය.
මා, සදා හරිත සයිප්‍රස් ගසක් වැන්න.
ඔබේ පල හට ගන්නේ මවෙතිනි.”
9ප්‍රඥාවන්තයා කවුරු ද? ඔහු මේ දෑ අවබෝධ කර ගනී.
දැනුම් තේරුම් ඇත්තා කවුරු ද? ඔහු මේ දෑ වටහාගනී.
මන්ද ස්වාමින්වහන්සේගේ මාර්ග නිවැරදි ය.
ධාර්මිකයෝ එමංවල ගමන් කරති.
එහෙත් හිතුවක්කරුවෝ ඒවායේ පැකිළෙති.

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요