හොෂෙයා 12

12
1එප්‍රායිම් සුළඟින් පෝෂණය ලබමින්,
දවස පුරා පෙරදිග සුළඟ හඹා යමින්,
මුසාව හා ප්‍රචණ්ඩත්වය ගොඩ ගසයි.
ඔහු අසිරියාව සමඟ ගිවිසුමක් කරමින්,
ඊජිප්තුව වෙත තෙල් ගෙන යයි.
2යූදාට එරෙහිව ගෙනෙන්නට ස්වාමින්වහන්සේට පැමිණිල්ලක් ඇත.
උන්වහන්සේ යාකොබ්ට ඔහුගේ ම මාර්ගවලට අනුව, දඬුවම් කරන සේක.
ඔහුගේ ම ක්‍රියා කලාපයට අනුව, ඔහුට පල විපාක දෙන සේක.
3මවු කුස තුළ සිටියදී ඔහු, තම සහෝදරයාගේ විලුඹ අල්ලා ගත්තේ ය.
වැඩුණු මිනිසකු වූ කල ඔහු, දෙවියන්වහන්සේ සමඟ පොර බැදී ය.
4ඔහු දේව දූතයා සමඟ පොර බදා, ජය ගත්තේ ය.
ඔහු හඬා වැටී, එතුමන්ගේ උපකාරය යැද්දේ ය.
ඔහු බෙතෙල්හි දී එතුමන් මුණ ගැසී,
එහිදී එතුමන් සමඟ කතා කළේ ය.
5සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ
කීර්තිමත් නාමය ස්වාමින්වහන්සේ යන්න ය.
6එහෙයින් ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වෙත ආපසු එන්න.
ප්‍රේමයේ ද යුක්තියේ ද පවතිමින්,
නිරන්තර ව දෙවියන්වහන්සේ ගැන බලා සිටින්න.
7වෙළෙන්දා හොර තරාදි තම අතින් දරයි;
වංචාකිරීමට ඔහු ආලය කරයි.
8එප්‍රායිම් මෙසේ කියයි:
“ඔහෝ මම වස්තුකාරයෙක්. මහ ධනයක් මට සම්බ වෙලා.
මගේ මහ ධනස්කන්ධය නිසා මගේ කාරණාවලදී
මගේ අයුතුකමක් හෝ පාපයක් ඔවුන්ට හමුවන්නේ නැත.”
9“ඊජිප්තු දේශයේ සිට
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.
සම්මත මංගල්‍ය දවස්හි දී මෙන්,
නැවතත් මම කූඩාරම්වල විසීමට ඔබට සලස්වමි.
10මම දිවැසිවරුන්ට කතා කළෙමි.
ඔවුන්ට බොහෝ දර්ශන දුන්නේ මම ය.
ඔවුන් ලවා බොහෝ උපමා කතා පැවසීමි.”
11ගිලියාද්හි අයුතුකම තියේ නම්
ඔවුන් වැදගැම්මකට නැති වේ!
ඔවුහු ගිල්ගාල්හි දී ගවයින් යාග කරති;
ඔවුන්ගේ පූජාසන, සී-සෑ කුඹුරක
ගල් ගොඩවල් මෙන් වනු ඇත.
12යාකොබ්, අරාම් දේශයට පලා ගියේ ය.
බිරිඳක ලබා ගැනීමට ඉශ්‍රායෙල් වෙහෙස ව වැඩ කරමින්,
බිරිඳක සඳහා බැටළුවන් බලා ගත්තේ ය.
13ඊජිප්තුවෙන් පිටතට ඉශ්‍රායෙල් ගෙන ඒමට, ස්වාමින්වහන්සේ දිවැසිවරයකු යොදා ගත් සේක.
උන්වහන්සේ ඔවුන් බලා ගත්තේ දිවැසිවරයකු මගිනි.
14එහෙත් එප්‍රායිම් ඉතා දැඩි ලෙස උන්වහන්සේ කෝප ගැන්වී ය.
එබැවින් ලේ හැලීමේ ඔහුගේ අපරාධය ඔහුගේ ස්වාමින් ඔහු පිට ම තැබූ සේක්;
ඔහු කළ අවමානය, ඔහු පිට ම තබන සේක.

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요