ක්‍රියා 6

6
උපස්ථායකයන් සත්දෙනා පත් කිරීම
1ඒ දවස්වල දී ශ්‍රාවකයන්ගේ ගණන වැඩි වන කල, හෙබ්‍රෙව් බස කතා කරන ජුදෙව්වන්ට විරුද්ධ ව, ග්‍රීක බස කතා කරන ජුදෙව්වරු පැමිණිල්ලක් ඉදිරිපත් කළහ: දිනපතා සහනාධාර දීමේ දී, තමන්ගේ වැන්දඹුවන් නොසලකා හරිනු ලබති යි ඔව්හු කී හ. 2එවිට දොළොස් දෙනා ගෝල සමූහය රැස් කරවා, “අප දෙව් දහම දේශනා කිරීම අතපසු කොට සහනාධාර කටයුතුවල යෙදී සිටීම කිසිසේත් සුදුසු නැත. 3එබැවින් සහෝදරයෙනි, මේ තනතුරට පත් කරන පිණිස, යහපත් යයි පිළිගත්, එසේ ම ශුද්ධාත්මයෙන් ද ප්‍රඥාවෙන් ද පූර්ණ සත්දෙනෙකු ඔබ අතරෙන් තෝරා ගන්න. 4ඉන්පසු අපි යාච්ඤාවෙහි ද ධර්ම දේශනාවෙහි ද නියුක්ත ව සිටිමු”යි කී හ. 5මේ යෝජනාව ගැන මුළු මහත් පිරිස සතුටු වූ හ. එවිට ඔව්හු, ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ මිනිසෙකු වන ස්තේපන් ද ඔහු සමඟ පිලිප් ද ප්‍රොකොරස් ද නිකනෝර් ද තීමොන් ද පර්මෙනස් ද ජුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලොස් ද තෝරාගත්හ. 6ඔව්හු මේ අය අපෝස්තුළුවරු වෙත ඉදිරිපත් කළහ. අපෝස්තුළුවරයෝ යාච්ඤා කොට ඔවුන් මත අත් තැබූ හ.
7තවද දෙවියන් වහන්සේගේ වචනය පැතිරී ගියේ ය. ජෙරුසලමේ ශ්‍රාවකයන්ගේ ගණන බොහෝ සේ වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක් ද ඇදහිල්ල පිළිගත්හ.
ස්තේපන් අත්අඩංගුවට ගැනීම
8ස්තේපන්, දේව වරප්‍රසාදයෙන් ද ආනුභාවයෙන් ද පූර්ණ ව මහත් ලකුණු හා අරුමපුදුම දේ ජනතාව අතර සිදු කෙළේ ය. 9එහෙත්, ‘ස්වාධීන’ යයි නම් ලත් ධර්මශාලාවට අයත් සිරේනීයයන් සහ අලෙක්සන්ද්‍රියයන්ගෙන් ඇතැමෙක් ද සිලීසියාවේ සහ ආසියාවේ සමහරු ද නැඟිට ස්තේපන් සමඟ විවාද කළහ. 10ඔහුගේ කතාවෙහි ගැබ් වූ ප්‍රඥාව හා ශුද්ධාත්ම බලය අභිබවා නැඟී සිටීමට ඔවුන්ට නොහැකි විය. 11එවිට, “මේ මිනිසා මෝසෙස්ටත් දෙවියන් වහන්සේටත් අපහාස කරනවා අපි ඇසීමු”යි කියන්නට ඔව්හු මිනිසුන් පෙළඹුවහු ය. 12තවද ඔව්හු ජනතාව ද ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද උසිගන්වා, ඔහු අත්අඩංගුවට ගෙන මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ගියහ. 13එහි දී ඔව්හු බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් කර, “මේ මිනිසා ශුද්ධස්ථානයටත් ව්‍යවස්ථාවටත් විරුද්ධ ව නොනවත්වා ම කතා කරයි. 14නාසරෙත්හි ජේසුස් වහන්සේ මේ ස්ථානය වනසා දමා, මෝසෙස්ගෙන් අපට උරුම වූ වත්පිළිවෙත් වෙනස් කරන්නේ යයි ඔහු කියනවා ඇසීමු”යි කී හ. 15මන්ත්‍රණ සභාවේ හිඳගෙන හුන් හැම දෙනා ම ඔහු දෙස බැලූ හ. ඔහුගේ මුහුණ දේව දූතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට දර්ශනය විය.

Sorotan

Salin

Bandingkan

Bagikan

None

Ingin menyimpan sorotan di semua perangkat Anda? Daftar atau masuk

Video untuk ක්‍රියා 6