සෙකරියා 5

5
පියාඹන පො‍ත පිළිබඳ දර්ශනය
1මම නැවත බැලූ විට පියාඹන පො‍තක් දිටිමි. 2“නුඹට කුමක් පෙනේ දැ”යි දේව දූතයා මාගෙන් ඇසූ විට, “මීටර් නවයක් දිග මීටර් හතරහමාරක් පළල පියාඹන පො‍තක් මට පෙනේ ය”යි මම කීමි.
3එවිට ඔහු මෙසේ කීවේ ය: “මුළු දේශය පුරා පැතිරී යන සාපය මෙය වේ. එක පැත්තක සොරකම් කරන සියල්ලෝ නෙරපනු ලබන්නෝ ය කියා ද අනෙක් පැත්තේ බොරුවට දිවුරන්නෝ නෙරපනු ලබන්නෝ ය කියා ද මෙහි ලියා ඇත. 4සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන පරිදි උන් වහන්සේ මේ සාපය එවන සේක. එවිට එය හැම සොරෙකුගේ ද බොරුවට දිවුරන හැම කෙනෙකුගේ ද නිවෙසට ඇතුළු වන්නේ ය. එය ඒ නිවෙස්වල රැඳී එහි සිටින සියල්ලන් ද එහි ලී දඬු ද ගඩොල් ද විනාශ කර දමන්නේ ය.”
භාජනය තුළ වූ ස්ත්‍රිය පිළිබඳ දර්ශනය
5දේව දූතයා නැවතත් ඉදිරියට අවුත්, “හිස ඔසවා බලන්න. දැන් පිටතට එන දේ දෙස බලන්නැ”යි කී ය.
6“එය කුමක් දැ”යි මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “එය භාජනයකි. මුළු දේශයේ පාපය එයින් අදහස් කෙරේ”යි කී ය.
7ඒ භාජනය ඊයම් පියනකින් වසා තිබිණි. මා බලා සිටිය දී ඊයම් පියන ඔසවනු ලැබී ය. භාජනය තුළ ස්ත්‍රියක් වාඩි වී සිටියා ය.
8“මේ ස්ත්‍රිය වනාහි දුෂ්ටකමේ මූර්තිය ය”යි දේව දූතයා මට කී ය. ඉන්පසු ඒ ස්ත්‍රිය නැවත භාජනය තුළට තල්ලු කරදමා, ඔහු එය පියනෙන් වැසුවේ ය. 9මම හිස ඔසවා බැලූ විට ස්ත්‍රීන් දෙදෙනකු මා දෙසට එනවා දිටිමි. කණ කොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබිණි. ඔවුන්ගේ ඒ පියාපත්වලට සුළං බැඳී ය. ඔව්හු අහසත්, පො‍ළොවත් අතරේ ඒ භාජනය උසුලාගෙන ගියෝ ය. 10“ඔවුන් එය කොහේ ගෙන යනවා දැ”යි මට කතා කළ දූතයාගෙන් මම ඇසීමි.
11“ඔවුන් එය ගෙන යන්නේ ෂිනාර් දේශයට ය; එහි දේවාලයක් සාදන පිණිස ය; එය තනා නිම වූ විට ඒ භාජනය එහි තබනු ලබන්නේ ය”යි කී ය.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió