Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

එළිදරව්ව 10

10
දේව දූතයා හා කුඩා පොත
1ඉන්පසු තවත් බලවත් දේව දූතයෙකු වලාකුළක් පැළඳ, හිස මත දේදුන්නක් දරා ස්වර්ගයෙන් බසිනු දිටිමි. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන් ද විය. 2ඔහුගේ අතේ දිග හළ කුඩා පොතක් විය. ඔහු සිය දකුණු පය මුහුද පිට ද වම් පය ගොඩබිම පිට ද තබා, 3සිංහයෙකු ගොරවන්නාක් මෙන් මහ හඬින් මොරගැසී ය. ඔහු මොරගැසූ කල ගිගුරුම් සත ද කතා කෙළේ ය. 4ඒ ගිගුරුම් සත කතා කළ විට මම ලියන්නට සැරසුණෙමි. එවිට, “ගිගුරුම් සත කී දේ රහසේ තබාගන්න; එය නොලියන්නැ”යි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසිණි. 5#නික්ම 20:11; ද්වි.නී. 32:40; දානි 12:7; ආමො 3:7මුහුද පිට ද ගොඩබිම ද සිටිනු මා දුටු දේව දූතයා, ස්වර්ගය දෙසට සිය දකුණත ඔසවා, 6සදහට ම ජීවත් වන, ස්වර්ගයත් එහි ඇති දේත්, පොළොවත් එහි ඇති දේත්, මුහුදත් එහි ඇති දේත් මවා වදාළ තැනැන් වහන්සේගේ නාමයෙන් දිවුරමින් මෙසේ කී ය: “තවත් පමා වීමක් නැත. 7සත් වන දේව දූතයාගේ හොරණෑව පිඹීමේ වේලාව පැමිණි විට, දෙවියන් වහන්සේ තම සේවක දිවැසිවරයන්ට ප්‍රකාශ කළ ලෙස, උන් වහන්සේගේ අබිරහස සම්පූර්ණ වනු ඇත.”
8 # එසකි 2:8; 3:3 ස්වර්ගයෙන් ඇසුණු හඬ නැවතත් මට කතා කරමින්, “ඔබ ගොස් මුහුද පිට ද ගොඩබිම ද සිටින දේව දූතයාගේ අතේ දිගහැර තිබෙන පොත ගන්නැ”යි මට කී ය. 9මම දේව දූතයා වෙත ගොස්, “කුඩා පොත මට දෙන්නැ”යි කීවෙමි. ඔහු ද: “එය රැගෙන කන්න; එයින් ඔබේ ආමාශය තික්ත වන්නේ ය. එහෙත් එය ඔබේ කටෙහි මීපැණි ලෙස මිහිරි වන්නේ ය”යි මට කී ය. 10මම ද දේව දූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි. එය මගේ කටේ මීපැණි ලෙස මිහිරි ව තිබුණේ ය. එය කෑ පසු මාගේ ආමාශය තික්ත විය.
11තවද: “ඔබ බොහෝ සෙනඟ ද ජාතීන් ද භාෂාවන් ද රජුන් ද ගැන නැවතත් දිවැස් වැකි ප්‍රකාශ කළ යුතු ය”යි මට කියන ලද්දේ ය.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió