Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

පිලිප්පි 2

2
ක්‍රිස්තුන් වහන්සේගේ පහත් වීම හා උසස් වීම
1ක්‍රිස්තුන් වහන්සේට අයිති වීමෙන් ඔබට යම් ශක්තියක් තිබේ ද? ප්‍රේමයෙහි යම් අස්වැසිල්ලක් තිබේ ද? ආත්මයාණන් වහන්සේ සමඟ යම් සහභාගිකමක් තිබේ ද? එකිනෙකා කෙරෙහි ආදරයක් හා දයාබරකමක් තිබේ ද? 2එසේ නම්, ඔබ එක සමාන චේතනා ඇති ව, එක ම ප්‍රේමයෙන් බැඳී, එක ම අරමුණකින් එක්සිත් ව සිටීමෙන් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න. 3පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න. 4සැමදෙන තම තමාගේ ම යහපත පමණක් නොසොයා, අනුන්ගේ යහපත ගැන ද සලකන්න. 5ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පැවති ජීවිතාකල්පය ම ඔබ තුළත් පවතී වා!
6උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැ යි නොසිතා,
7තමන් වහන්සේ ම ත්‍යාජ කරගනිමින්, වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක.
8මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.
9එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක.
10 # යෙසා 45:23 එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, ‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්,
11ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය.
අඳුරු ලොවක තාරකා මෙන් බැබළීම
12සැබැවින් මාගේ ප්‍රේමවන්තයෙනි, මා ඔබ වෙත සිටිය දී, ඔබ කීකරු ව සිටියාක් මෙන් ම, දැන් මා ඔබෙන් ඈත් ව සිටින විටත්, ඊටත් වඩා කීකරු ව සිටිය යුතු ය. ඔබ බියෙන් හා වෙව්ලීමෙන් යුතු ව ඔබේ විමුක්තිය සලසාගන්න. 13මන්ද, ඔබ දෙවියන් වහන්සේගේ යහපත් කැමැත්තට අවනත වී, එය ඉෂ්ට කරවීමට උන් වහන්සේ ම ඔබ තුළ ක්‍රියා කරන සේක. 14ඔබ කුමන දෙයක් කළත්, මැසිවිලි කීමක් වත් විවාදයක් වත් නැති ව එය කරන්න. 15#ද්වි.නී. 32:5එවිට ඔබ නිදොස් හා අහිංසක වන්නහු ය. ඔබ වංක, හිතුවක්කාර පරම්පරාවක් මධ්‍යයෙහි, දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් ව, 16ඔවුන් අතර ජීවන පණිවුඩය ප්‍රදානය කරමින්, අඳුරු ලෝකයක දීප්තිමත් තාරකා මෙන් බබළන්නහු ය. ඔබ එසේ කළොත්, ‘මම නිෂ්ඵල ලෙස නොදිව්වෙමි, නිෂ්ඵල ලෙස වීර්ය නොකෙළෙමි’යි ක්‍රිස්තුන් වහන්සේගේ දවසේ දී ඔබ ගැන මට පාරට්ටු කරගත හැකි වේ.
17ඔබගේ ඇදහිල්ල නමැති පූජාවත් සේවයත් මත මා ද පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවත් සන්තෝෂ වෙමි. ඔබ හැම සමඟ ප්‍රීති වෙමි. 18එලෙස ම ඔබත් සන්තෝෂ වන්න, මා සමඟ ප්‍රීති වන්න.
සභා සේවක තිමෝතියස් සහ එපප්‍රොදිතස්
19ඔබ ගැන තොරතුරු අසා ධෛර්ය වත් වන පිණිස, ජේසුස් ස්වාමීන් වහන්සේ කැමැති සේක් නම් තිමෝතියස් ඔබ වෙත නොපමා ව එවීමට මම බලාපොරොත්තු වෙමි. 20ඔබගේ යහපත ගැන අවංක සැලකිල්ලක් දක්වන, ඔහු වැනි වෙන තැනැත්තෙක් මට නැත. 21සියල්ලෝම තම තමන්ගේ ම කාරිය ගැන මිස, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ කාරණා ගැන නොවෙහෙසෙති. 22ඔහු නම්, පුත්‍රයෙකු සිය පියා හා සමඟ සේවය කරන්නාක් මෙන්, සුබ අස්නේ අභිවෘද්ධිය සඳහා මා සමඟ සේවය කළ බවට ඔහුගේ සාක්ෂිය ඔබ දන්නහු ය. 23එබැවින් මාගේ කාරණා කොයි අතට හැරේ දැ යි දුටු කෙණෙහි ම ඔහු ඔබ වෙත එවීමට මම බලාපොරොත්තු වෙමි. 24සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම් නොබෝ කලකින් මටත් ඔබ වෙතට එන්න ලැබෙනු ඇතැ යි මම විශ්වාස කරමි.
25මා සොහොයුරු එපප්‍රොදිතස් ද ආපසු ඔබ වෙත එවීම මැනවැ යි මට කල්පනා වී ඇත. ඔහු වනාහි මට ආධාරෝපකාර කිරීමට ඔබ මා වෙත එවූ ඔබේ දූතයෙකු වන මාගේ සේවකයෙකු ද හවුල් හේවායෙකු ද වේ. 26ඔහු ඔබ හැම දෙනා දැකීමට තද ආශාවක් ඇති ව සිටියේ ය, තමා රෝගාතුර ව සිටිය බව ඔබට සැළ වූ බැවින් ඉතා කණගාටු විය. 27ඔහු සැබැවින් ම මරණාසන්න වන තරමට රෝගාතුර ව සිටියේ ය. එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කරුණා කළ සේක. ඔහුට පමණක් නොව, දුක පිට දුක මා වෙත නොඑන පිණිස මටත් කරුණා කළ සේක. 28එබැවින් ඔබ ඔහු නැවත දැක ප්‍රීති වන පිණිසත්, මාගේ ශෝකය අඩු වන පිණිසත් ඔහු එවීමට වඩාත් ආශාවෙන් සිටිමි. 29කිතුනු සහෝදර ප්‍රීතියෙන් ඔහු පිළිගන්න. එබඳු අය ගෞරවයෙන් සලකන්න. 30මන්ද, ඔහු ක්‍රිස්තුන් වහන්සේගේ සේවය සඳහා දිවි පිදීමට පවා සූදානම් ව මරුමුවට ළඟා වූයේ ඔබ විසින් දීමට නොහැකි වූ සහාය මට දීමට යි.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió