ශුද්ධවර මතෙව් 28

28
පුනරුජ්ජීවනය
(මාක් 16:1-8; ලූක් 24:1-12; ජොහ 20:1-10)
1සබත් දින නිම වී සතියේ පළමු වන දින එළිවන වේලෙහි මග්දලායේ මරියා ද අනික් මරියා ද සොහොන් ගෙය බලන්න ගියහ. 2එවිට මහා භූමිකම්පාවක් විය. සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, ගල ඉවතට පෙරළා ඒ මත හිඳගත්තේ ය. 3ඔහුගේ පෙනුම විදුලිය වැනි ය, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදු ය. 4මුර සෙබළු ඔහුට භයින් වෙවුලා, මළවුන් මෙන් වූ හ. 5දේව දූතයා ඒ ස්ත්‍රීන්ට කතා කරමින්, “බිය නොවන්න, ඔබ කුරුසියෙහි ඇණ ගැසූ ජේසුස් වහන්සේ සොයන බව දනිමි; 6උන් වහන්සේ මෙහි නැත; උන් වහන්සේ වදාළ ලෙස ම උත්ථාන වූ සේක. එන්න, සමිඳාණන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලා, 7වහා ම ගොස්, ‘උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ සේක. උන් වහන්සේ ඔබට පළමු ව ගලීලයට යන සේක. එහි දී ඔබ උන් වහන්සේ දකින්නහු ය’යි ශ්‍රාවකයන්ට දන්වන්න. මා කී දේ මතක තබා ගන්නැ”යි කී ය. 8එවිට ඔව්හු භයින් ද මහත් ප්‍රීතියෙන් ද යුක්ත ව සොහොන් ගෙයින් වහා ම නික්ම ගොස්, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දන්වන පිණිස දිවූ හ. 9එකල ජේසුස් වහන්සේ හදිසියේ ඔවුන්ට මුණ ගැසී, “සෙත් වේ වා!”යි වදාළ සේක. ඔව්හු ළං වී උන් වහන්සේගේ පා වැළඳගෙන, උන් වහන්සේට පසඟ පිහිටුවා නමස්කාර කළහ. 10එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මාගේ සහෝදරයන් වෙතට ගොස්, ගලීලය බලා යන්න ඔවුන්ට කියන්න; එහි දී ඔවුන් මා දකිනු ඇතැ”යි වදාළ සේක.
මුර සෙබළුන් ගෙතූ බොරුව
11ස්ත්‍රීවරුන් මඟ යද්දී මුර සෙබළුන්ගෙන් සමහරෙක් නුවරට පැමිණ, ඒ මුළු සිද්ධිය නායක පූජකවරුන්ට දැන්වූ හ. 12එවිට, ඔව්හු ප්‍රජා මූලිකයන් හා සමඟ රැස් ව කුමන්ත්‍රණය කොට හේවායන්ට බොහෝ මුදල් දී, 13“අප රෑ නිදා සිටිය දී, ඔහුගේ ශ්‍රාවකයෝ අවුත්, ඔහු සොරාගෙන ගියහ’යි කියන්න. 14මේ බව ආණ්ඩුකාරයාට ආරංචි වුණොත්, අපි ඔහු කැමැති කරවාගෙන ඔබ බේරා ගන්නෙමු”යි කී හ. 15ඔව්හු මුදල් රැගෙන තමන්ට ඉගැන්වූ ලෙස කළහ. මෙසේ ඒ කීම ජුදෙව්වන් අතරේ ප්‍රසිද්ධ වී, අද දක්වාත් පැවත එයි.
ධර්මදූත සේවාව පැවරීම
(මාක් 16:14-18; ලූක් 24:36-49; ජොහ 20:19-23; ක්‍රියා 1:6-8)
16 # මතෙ 26:32; මාක් 14:28 ශ්‍රාවකයෝ එකොළොස් දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දට ගියහ. 17ඔව්හු උන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ. 18ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට, “ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ. 19#ක්‍රියා 1:8 එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න; 20මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió