Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

ගලාති 6

6
අන්‍යෝන්‍ය පිහිටාධාර
1සහෝදරයෙනි, මිනිසෙකු යම් වරදක් කරද්දී අසු වුණොත් ශුද්ධාත්ම දායාදය ඇති ඔබ මෘදුකමින් ඔහු යහමඟට හරවාගත යුතු ය. ඔබ ද පරීක්ෂාවට නොවැටෙන පිණිස ප්‍රවේසම් වන්න. 2එකිනෙකාගේ බර උසුලා, එසේ ක්‍රිස්තුන් වහන්සේගේ ආඥාව පිළිපදින්න. 3කිසි වැදගැම්මකට නැති කෙනෙක් තමා වැදගත් කෙනෙක් යයි සිතන්නේ නම්, ඔහු තමා ම රවටා ගනියි. 4එකිනෙකා තම තමාගේ කල්ක්‍රියාව තමා විසින් ම සෝදිසි කර බැලිය යුතු ය. එය යහපත් නම්, එය තමා ම අත් කරගත් දෙයක් බැවින්, අනුන්ගේ කල්ක්‍රියාවට සමාන නොකොට, තමාට ම ඒ ගැන පාරට්ටු විය හැකි ය. 5තමා විසින් ම ඉසිලිය යුතු බරක් හැම මිනිසෙකුට ම ඇත.
6ධර්ම වාක්‍ය ඉගෙනගන්නා, උගන්වන්නාට තමා සතු සියලු යහපත් දෙයින් සංග්‍රහ කෙරේ වා. 7මුළා නොවෙන්න, කිසිවෙකුට දෙවියන් වහන්සේ රැවටිය නොහැකි ය. මන්ද, මිනිසෙක් තමා වපුරන දෙය ම කපාගන්නේ ය. 8කෙලෙස් මල නමැති කෙතෙහි වපුරන්නා, කෙලෙස් මලින් ජරාවට පත් වන මරණය නමැති අස්වැන්න නෙළාගන්නේ ය. ආත්මයාණන් නමැති කෙතෙහි වපුරන්නා ආත්මයාණන්ගෙන් සදාතන ජීවනය නමැති අස්වැන්න නෙළාගන්නේ ය. 9ඒ නිසා යහපත කිරීමට මැළි නොවෙමු. මන්ද, මන්දෝත්සාහී නුවූවොත් අපි යථා කාලයේ දී අස්වැන්න නෙළාගන්නෙමු. 10එබැවින් අපට ඉඩ ප්‍රස්ථා ඇති හැටියට සියල්ලන්ට ම, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ පවුලට අයිති වූ අයට, යහපත්කම් කරමු.
අවවාද හා සුබ පැතුම්
11කොපමණ ලොකු අකුරුවලින් මාගේ ම අතින් ඔබට ලියා ඇද්ද කියා බලන්න. 12මාංසික ලකුණක් අනුව තම උතුම්කම පෙන්වීමට කැමැති අය චර්මඡේදනය ලබන්න ඔබට බල කරති. එසේ කරන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය නිසා ඇති වන පීඩාවලින් වළකින පිණිස පමණක් ය. 13චර්මඡේදනය ලබන්නෝ පවා ව්‍යවස්ථාව නොපිළිපදිති. එහෙත් ඔබ චර්මඡේදනය කරවීමට ඔවුන් අදහස් කරන්නේ, ඒ ගැන ඔවුන් පාරට්ටු කර ගන්නා පිණිස ය. 14එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද, කුරුසිය කරණකොටගෙන ලෝකය ගැන මාගේ ආශාව ද, මා ගැන ලෝකයාගේ ආශාව ද මැරුණා හා සමාන ය. 15චර්මඡේදනය වත් අචර්මඡේදනය වත් වැදගත් නැත; වැදගත් දෙය නම්, අලුත් මැවිල්ලක් වීම ය. 16යම් පමණ දෙනෙක් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නෝ ද ඒ හැමට සාමදානයත්, දයාවත් වේ වා! දෙවියන් වහන්සේගේ මුළු සෙනඟටත් එසේ ම වේ වා!
17මින් මතු කිසිවෙක් මට කරදර නොකෙරේ වා. මන්ද, මම මාගේ ශරීරයේ ජේසුස් වහන්සේගේ නිවරණ#6:17 වේදනාවේ සලකුණු දරමි.
18සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා! ආමෙන්.

S'ha seleccionat:

ගලාති 6: SNRV

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió