Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

කොලොස්සි 3

3
පරණ ජීවිතය සහ අලුත් ජීවිතය
1 # ගීතා 110:1 ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබූ බැවින්, දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින තැන ඇති, ලොව්තුරු දේ ප්‍රාර්ථනා කරන්න. 2ලෞකික දේ කෙරෙහි නොව, ලොව්තුරු දේ කෙරෙහි ඔබේ සිත යොමු කරන්න. 3මන්ද, ඔබ මැරුණු බැවින් දැන් ඔබේ ජීවිතය ක්‍රිස්තුන් වහන්සේ සමඟ දෙවියන් වහන්සේ තුළ සැඟවී පවතියි. 4අපේ ජීවනය වන ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ වන විට, ඔබත් උන් වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශ වනු ඇත.
5එබැවින් කාමමිථ්‍යාචාරය, අපිරිසිදුකම, කාමරාගය, නපුරු තෘෂ්ණා සහ රූප වැඳීමක් වැනි තණ්හාව යන කාමුක දුසිරිත් නසාදමන්න. 6මේ දේ නිසා අකීකරු වන අය පිට දේව උදහස පැමිණෙනු ඇත. 7ඔබත් එක් කාලයක දී ඔවුන් මෙන් මේ දුසිරිත්වල ඇලීගැලී ජීවත් වූවහු ය.
8එහෙත් දැන් ඔබ ඒ සියල්ල, එනම්, උදහස, කෝපය, කුඩුකේඩුකම, අපවාදය, අසභ්‍ය කතා මුලිනුපුටා දමන්න. 9#එපී 4:22 එකිනෙකාට බොරු නොකියන්න. මන්ද ඔබ පරණ ස්වභාවය එහි දුසිරිත් සමඟ ඉවත ලා, 10#උත් 1:26; එපී 4:24අලුත් ස්වභාවයකින් සැරසී සිටින්නහු ය. දෙවියන් වහන්සේ පිළිබඳ සම්පූර්ණ දැනගැන්මට ඔබ පමුණුවන පිණිස, ඒ අලුත් ස්වභාවය එහි මැවුම්කාරයාණන්ගේ රූපය අනුව උන් වහන්සේ නිරන්තරයෙන් අලුත් කරන සේක. 11ඒ අලුත් ජීවිතයෙහි ග්‍රීක ජුදෙව් කියා වත්, චර්මඡේදිත අචර්මඡේදිත කියා වත්, ම්ලේච්ඡ ශිෂ්ට කියා වත්, දාස නිර්දාස කියා වත් භේදයක් නැත. ඇත්තේ සියල්ලන් තුළ, සියල්ල වන, ක්‍රිස්තුන් වහන්සේ පමණෙකි.
12 # එපී 4:2 එබැවින් දෙවියන් වහන්සේගේ තෝරාගත්, සැදැහැවත්, ප්‍රේමවන්ත අය වශයෙන්, දයානුකම්පාවෙන් ද කරුණාවෙන් ද නිහතමානිකමෙන් ද මෘදුකමෙන් ද ඉවසිලිවන්තකමෙන් ද සැරසී සිටින්න. 13#එපී 4:32එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධ ව පැමිණිල්ලක් ඇත්නම්, එකිනෙකාට කමා කරන්න. සමිඳාණන් වහන්සේ ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කළ යුතු ය. 14මේ සියල්ලට ඉහළින්, සියල්ල සම්පූර්ණ ලෙස ඒකාබද්ධ කරන ප්‍රේමයෙන් සැරසෙන්න. 15ක්‍රිස්තුන් වහන්සේගේ සාමය ඔබේ සිත් තුළ රජකම් කෙරේ වා! එක ම ශරීරයේ කොටස් වශයෙන් ඔබ කැඳවන ලද්දේ මේ සඳහා ය. කෘතඥතාව ද දක්වන්න. 16#එපී 5:19-20 ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න. ගීතිකාවලින් ද ගායනාවලින් ද ශුද්ධ ගීවලින් ද සිතෙහි ස්තුතිවන්තකමින් ද දෙවියන් වහන්සේට ගායනා කරන්න. 17තවද, ඔබ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කරතත්, ඒ සියල්ල ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කරමින් උන් වහන්සේ තුළින් දෙවි පියාණන් වහන්සේට ස්තුති කරන්න.
පවුලේ හා සමාජයේ යුතුකම්
18 # එපී 5:22; 1 පේදු 3:1 භාර්යාවෙනි, කිතුනුවන්ගේ යුතුකම ලෙස ඔබේ පුරුෂයන්ට යටත් ව සිටින්න.
19 # එපී 5:25; 1 පේදු 3:7 පුරුෂයෙනි, රළු පරුෂ නොවී ඔබේ භාර්යාවන්ට ප්‍රේම කරන්න.
20 # එපී 6:1 දරුවෙනි, සියලු කාරණාවල දී දෙමව්පියන්ට කීකරු වන්න. මන්ද, ඔබ එසේ කිරීම සමිඳාණන් වහන්සේට ප්‍රීතියකි.
21 # එපී 6:4 පියවරුනි, ඔබේ දරුවන් කුපිත නොකරන්න. එසේ කළොත් ඔවුන් කලකිරෙනු ඇත.
22 # එපී 6:5-8 දාසයෙනි, ඔබේ සමිඳාණන් වහන්සේට ගෞරව දැක්වීමක් වශයෙන් ඔබේ මෙලොව ස්වාමිවරුන්ට සියලු කාරණාවල දී කීකරු වන්න. මූණිච්චාවට ඔවුන් සතුටු කරන අදහසින් නොව, අවංක සිතින් සේවය කරන්න. 23ඔබ කරන කොයි දෙයක් වුවත්, මනුෂ්‍යයන් උදෙසා නොව, සමිඳාණන් වහන්සේ උදෙසා කරන දෙයක් මෙන් මුළු සිතින් කරන්න. 24සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ විපාකය ඔබට දෙන බව සිහි කරන්න. මන්ද, ඔබ සේවය කරන්නේ ඔබේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට ය. 25#ද්වි.නී. 10:17; එපී 6:9 වැරදි කරන්නා තමා කරන වැරදිවල පල විපාකය ලබන්නේ ය. දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන සේක.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió