Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

2 කොරින්ති 9

9
සැදැහැවතුනට උවටැන්
1සැදැහැවතුන්ට ආධාර දීම ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත. 2ඔබගේ උද්‍යෝගය ගැන මම දනිමි. ගිය අවුරුද්දේ සිට ම ග්‍රීසියේ වාසීන් වන ඔබ ආධාර දීමට සූදානම් ව සිටි බව කියමින් මසිදෝනියේ වැසියන්ට ඔබ ගැන පාරට්ටු කෙළෙමි. තවද ඔබගේ උද්‍යෝගය ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුන් උනන්දු කර ඇත. 3ඔබ ගැන අප කළ පාරට්ටුව බොරුවක් නොවන පිණිස මම සහෝදරයන් එවමි. එසේ කරන්නේ ඔබ සූදානම් ව සිටිනවා යයි මා කී ලෙස ම ඔබ සූදානම් ව සිටින පිණිස ය. 4නැත්නම්, යම් හෙයකින් මසිදෝනිවරුන් මා සමඟ පැමිණ ඔබ සූදානම් නැති බව දුටුවොත්, ඔබට කෙසේ වෙතත්, ඔබ කෙරේ මෙතරම් විශ්වාසයක් තැබූ අපට කෙතරම් ලජ්ජාවක් ද? 5එබැවින්, ඔබ පොරොන්දු වී ඇති දීමනාව කල් තියා සූදානම් කරන පිණිස, මට පෙරටුව යන මෙන් සහෝදරයන්ගෙන් ඉල්ලීම අවශ්‍ය යයි සිතුවෙමි. එවිට, ඒ දීමනාව බල කිරීම නිසා දෙන දෙයක් නොව ත්‍යාගශීලී ව දෙන්නක් බව පැහැදිලි වනු ඇත.
ත්‍යාගශීලීභාවයේ ප්‍රතිඵල
6මෙය සිතට ගන්න: අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනියි; වැඩියෙන් වපුරන්නා, වැඩියෙන් කපා ගනියි. 7එක් එක්කෙනා අකමැත්තෙන් වත් බලකිරීම නිසා වත් නොව, සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතු ය. සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක. 8සියල්ලෙහි දී ඔබ නිතර ම සියලු අයුරින් අනූන ව සිටින පිණිසත්, සියලු යහපත් සේවාවන්ට නොමසුරු ව ආධාර කළ හැකි වන පිණිසත් උවමනා පමණටත් වඩා අධික ලෙස ආශීර්වාද ඔබට දෙන්න දෙවියන් වහන්සේට පුළුවන. 9#ගීතා 112:9 මෙසේ, ශුද්ධ ලියවිල්ලෙහි:
“උන් වහන්සේ දිළිඳුන්ට නොමසුරු ව දුන් සේක, උන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි
ලියා තිබේ. 10#යෙසා 55:10 වපුරන්නාට බීජ ද කෑමට ආහාර ද සපයා දෙන දෙවියන් වහන්සේ ඔබට බීජ සපයා දී, ඒවා වැඩෙන්න සලස්වා, ඔබගේ ත්‍යාගශීලීභාවයේ අස්වැන්න සරුසාර කරන සේක. 11මෙලෙස ඔබ සියල්ලෙහි දී ත්‍යාගශීලී වන පිණිස දෙවියන් වහන්සේ ඔබ බහුල ලෙස ධනවත් කරන සේක. එවිට අප මඟින් කරන ලද මේ දේ නිසා දෙවියන් වහන්සේට තුති පැසසුම් ඇති වේ. 12සැදැහැවතුන්ගේ මේ උපස්ථාන සේවාවෙන් අගහිඟකම පිරිමැසෙනවා පමණක් නොව දෙවියන් වහන්සේට බොහෝ ස්තුති දීම ද හටගන්නේ ය. 13මේ සේවාවෙන්, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න පිළිගෙන, එය පිළිපදින ආකාරය ද ඔවුන්ට හා අන් සියල්ලන්ටත් ඔබ දැක්වූ ත්‍යාගශීලීභාවය ද ඔප්පු වන බැවින් ඔව්හු දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරති. 14තවද, දෙවියන් වහන්සේ ඔබට දක්වා ඇති මහා කරුණාව නිසා, ඔවුන් මහත් ළැදිකමකින් ඔබ උදෙසා යාච්ඤා කරනු ඇත. 15දෙවියන් වහන්සේගේ කියා නිම කළ නොහැකි දීමනාව ගැන උන් වහන්සේට ප්‍රශංසා වේ වා!

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió