Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

2 කොරින්ති 6

6
1එබැවින් දේව සේවයේ පංගුකාරයන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු. 2#යෙසා 49:8 මන්ද,
“ප්‍රසාදජනක කාලයේ දී මම ඔබට සවන් දුනිමි,
ගැළවීමේ දවසේ දී මම ඔබට පිහිට වුණෙමි”යි
දෙවියන් වහන්සේ වදාරන සේක. මෙය ප්‍රසාදජනක කාලය යි. මෙය ගැළවීමේ දවස යි.
3අපේ සේවය දෝෂයට ලක් නොවන පිණිස කිසිවෙකුට අපගෙන් බාධා ඇති වීමට ඉඩ නොතබමු. 4එසේ නොව, දුක් පීඩා ද අගහිඟකම් ද විපත්ති ද මහත් ඉවසීමකින් විඳදරා, අපි දෙවියන් වහන්සේගේ සේවකයන් වශයෙන් ඔබට ඒත්තුගන්වමු. අපි බොහෝ දේ විඳදරාගත්තෙමු. 5#ක්‍රියා 16:23 පහර ලැබුවෙමු; සිරගත වීමු; අඩන්තේට්ටම් කරනු ලැබුවෙමු. විවේකයක් වත්, නින්දක් වත් කෑමක් වත් නැති ව සිටියෙමු. 6පිරිසිදුකමින් ද දැනගැන්මෙන් ද ඉවසීමෙන් ද කරුණා ගුණයෙන් ද ශුද්ධාත්මයාණන්ගෙන් ද අවංක ප්‍රේමයෙන් ද සත්‍ය වචනයෙන් ද දේව බලයෙන් ද අපි දෙවියන් වහන්සේගේ සේවකයන් බව ඔබට ඒත්තුගන්වමු. 7දකුණතින් හා වමතින් රැගත් දමිටුකම නමැති සන්නාහයෙන් ද සන්නද්ධ ව සිටියෙමු. 8ගෞරවය හා අගෞරවය ද, කීර්තිය හා අපකීර්තිය ද ලැබීමු. වංචාකාරයන් මෙන් ගණන්ගැනුණත්, සත්‍යවාදීහු වීමු. 9වැදගැන්මකට නැති අය මෙන් ගණන්ගැනුණත්, බොහෝ දෙනා පිළිගත් අය වීමු. මළා වූ අය මෙන් ගණන්ගැනුණත්, බලන්න, අපි ජීවත් ව සිටිමු. ලබන අය මෙන් ගණන්ගැනුණත් නොමැරී සිටිමු. 10ශෝකවන්නන් මෙන් ගණන්ගැනුණත් නිතර ම ප්‍රීතියෙන් සිටිමු. දිළිඳුන් මෙන් ගණන්ගැනුණත්, බොහෝ දෙනෙකුන් ධනවතුන් කරමු. කිසිත් නැත්තන් මෙන් ගණන්ගැනුණත් සියල්ල ඇත්තන් වී සිටිමු.
11කොරින්තිවරුනි, අපි අවංක සිතින් කිසිත් නොසඟවා ඔබට කතා කෙළෙමු. 12ඔබ ගැන අපේ සිතේ වෙනසක් සිදු වී නැත. අප ගැන නම් ඔබේ සිතේ වෙනසක් සිදු වී ඇත. 13එබැවින් අප කර ඇති සේ ම, ඔබේ සිත් ද පළල් ලෙස විවෘත කරන්න. අපේ සිතේ වෙනසක් සිදු වී නැතුවාක් මෙන් අප ගැන ද ඔබේ සිතේ වෙනසක් ඇති කර නොගන්න. දරුවන්ට පියෙකු කියන්නාක් මෙන් මම මෙය ඔබට කියමි.
නොගැළපෙන සම්බන්ධකම්වලින් වැළකීම
14නොඇදහිලිවතුන් සමඟ නොගැළපෙන සම්බන්ධකම්වලින් නොබැඳෙන්න. යුක්තියත් අයුක්තියත් අතර ඇති සම්බන්ධකම කුමක් ද? එළියත් අඳුරත් අතර ඇති එකමුතුකම කුමක් ද? 15ක්‍රිස්තුන් වහන්සේ හා යක්ෂාධිපතියා හා අතර එකඟ වීමක් තිබිය හැකි ද? ඇදහිලිවන්තයෙකු හා නොඇදහිලිවන්තයෙකු හා අතර පොදුවේ යමක් ඇද් ද? 16#ලෙවී 26:12; එසකි 37:27; 1 කොරි 3:16; 6:19 දේව මාලිගාව හා දේවතා පිළිම අතර සමානකමක් ඇද් ද? නැත. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මන්දිර වෙමු. ඒ බව දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක:
“මම ඔවුන් සමඟ වාසය කරන්නෙමි, ගැවසෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.”
17 # යෙසා 52:11 එබැවින්:
“ඔවුන් අතරෙන් නික්මවිත්, වෙන් වී සිටින්න.
අපවිත්‍ර කිසිවක් ස්පර්ශ නොකරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
“එවිට මම ඔබ පිළිගෙන,
18 # 2 සාමු 7:14; 1 වංශා 17:13; යෙසා 43:6; ජෙර 31:9 ඔබට පියෙක් වන්නෙමි.
ඔබ ද මට දූපුත්තු වන්නහු ය”යි
සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió