1 තෙසලෝනික 4
4
යහපත් ජීවිතයේ ප්‍රතිපත්ති
1සහෝදරවරුනි, දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමට කෙසේ හැසිරිය යුතු දැ යි ඔබ අපගෙන් ඉගෙනගත්තහු ය. ඔබ එසේ හැසිරෙන්නහු ය. එහෙත් ඔබ වැඩි වැඩියෙන් එසේ කරන ලෙස, අපි සහකාර කිතුනුවන් වශයෙන් ඔබගෙන් ඉල්ලා අවවාද කරමු. 2ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට කුමන අවවාද අනුශාසනා දුනිමු දැ යි ඔබ දන්නහු ය. 3දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ශුද්ධ ව සිටීම ය; ඔබ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතු ය. 4ඔබ එකිනෙකා තම තමාගේ ශරීරය දමනය කරගෙන එය ශුද්ධ ව ද, ගෞරවයෙන් යුක්ත ව ද, තබාගැනීමට දැනගත යුතු ය. 5දෙවියන් වහන්සේ නොදන්නා විජාතීන් මෙන්, ඔබ කාම තෘෂ්ණාවෙහි ගැලී නොසිටිය යුතු ය. 6මේ කාරණයේ දී කිසිවෙකු තම සහෝදරයා රවටා, වාසියක් නොගත යුතු ය. මන්ද, අප ඔබට කලින් කියා තදින් අවවාද කළ ලෙස, මෙබඳු අයට සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක. 7දෙවියන් වහන්සේ අප කැඳෙව්වේ අපවිත්‍රකමට නොව, පවිත්‍රකමට ය. 8එබැවින් මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන්නා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මනුෂ්‍යයා නොව, ස්වකීය ශුද්ධාත්මයාණන් ඔබට ප්‍රදානය කරන දෙවියන් වහන්සේ ය.
9එහෙත් සහෝදර ප්‍රේමය ගැන ඔබට ලියා එවීම වුවමනා නැත. කුමක් හෙයින් ද, එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබ දෙවියන් වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහු ය. 10සැබැවින් ම ඔබ මසිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ කරන්නහු ය. එහෙත්, සහෝදරවරුනි, තව වඩ වඩා ඉදිරියට යන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. 11ඔබට අප කලින් අවවාද කළ පරිදි, උපශාන්ත ජීවිතයක් ගත කිරීමටත්, තම තමාගේ කාරණා බලාගැනීමටත්, දහඩිය මහන්සියෙන් ජීවිකාව කර ගැනීමටත් අරමුණු කරගන්න. 12මෙසේ කිරීමෙන් ඔබට සභාවෙන් පිටත සිටින්නන්ගේ ගෞරවය දිනාගෙන, අන්‍යයන්ගේ පිහිටාධාර පිට නොරැඳී සිටීමට හැකි වේ.
ඇදහිලිවතුන්ගේ මරණින් මතු බලාපොරොත්තුව
13සහෝදරවරුනි, මතු බලාපොරොත්තුවක් නැති සෙසු අය මෙන් ඔබ ශෝක නොවන පිණිස, මියගියවුන් ගැන ඔබ නොදැන සිටීම කිසිසේත් අපගේ කැමැත්ත නොවේ. 14ජේසුස් වහන්සේ නැසී නැවත උත්ථාන වූ සේකැ යි අපි අදහමු: එසේ ම, ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් උන් වහන්සේ තුළ සැතපුණු අය, උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ නැවත ගෙනෙන සේකැ යි ද අදහමු.
15 #
1 කොරි 15:51-52
අප දැන් ඔබට කියන්නේ සමිඳාණන් වහන්සේ ම වදාළ කරුණකි. එනම්: සමිඳාණන් වහන්සේගේ ආගමනයේ දී ජීවත් ව සිටින අපට, උන් වහන්සේ තුළ සැතපුණු අයට නොමැති විශේෂ වාසියක් නැති බව ය. 16මන්ද, සමිඳාණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය. 17එවිට ජීවතුන් අතර සිටින අපි, ඔවුන් සමඟ සමිඳාණන් වහන්සේ හමු වන පිණිස, වලාකුළුවලින් අහසට ඔසවාගනු ලබන්නෙමු. මෙසේ අපි නිතර ම සමිඳාණන් වහන්සේ සමඟ සිටින්නෙමු. 18එහෙයින් මේ වචනවලින් එකිනෙකා සනසන්න.
S'ha seleccionat:
1 තෙසලෝනික 4: SNRV
Subratllat
Copia
Compara
Comparteix
Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió