1 ජොහන් 1
1
ජීවනයේ ධර්මයාණෝ
1 #
ජොහ 1:1
මූලාරම්භයේ පටන් වූ ජීවනයේ ධර්මයාණන් ගැන අපි ඔබට ලියමු. අපි උන් වහන්සේ කනින් ඇසීමු, අපේ ඇස්වලින් දුටිමු; දැක බලා, අපේ අත්වලින් ස්පර්ශ කෙළෙමු. 2#ජොහ 1:14 මේ ජීවනය දෘශ්‍යමාන විය. අපි එය දැක, ඒ ගැන සාක්ෂි දරමින්, පියාණන් වහන්සේ සමඟ වැඩවිසූ, අපට දෘශ්‍යමාන කරන ලද සදාතන ජීවනය ඔබට ප්‍රකාශ කරමු. 3අප ඔබටත් ප්‍රකාශ කරන්නේ අප ඇසූ දුටු ඒ දේ ම ය. අප එසේ කරන්නේ, පියාණන් වහන්සේ ද උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද සමඟ පවත්නා අපේ සහභාගිකමට ඔබත් පංගුකාර වන පිණිස ය. 4තවද, අප මෙය ලියන්නේ අප හැමගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ය.
දෙවියන් වහන්සේ ආලෝකය ය
5උන් වහන්සේගෙන් අප ඇසූ, ඔබට දන්වන පණිවුඩය මෙය වේ: දෙවියන් වහන්සේ ආලෝකය ය, උන් වහන්සේ තුළ කිසි ම අන්ධකාරයක් නැත. 6එබැවින්, උන් වහන්සේ සමඟ අපි සහභාගිකම පවත්වන්නෙමු යි කියමින් අපි අන්ධකාරයෙහි හැසිරෙමු නම් අප කියන්නේ බොරුවකි. අප පිළිපදින්නේ සත්‍යය නොවේ. 7එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය.
8අපට පාපයක් නැතැ යි කියමු නම්, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත. 9එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක. 10අපි පව් කර නැතැ යි කියමු නම්, අපි උන් වහන්සේ බොරුකාරයෙකු කරමු: උන් වහන්සේගේ වචනය ද අප තුළ නොපවතියි.
S'ha seleccionat:
1 ජොහන් 1: SNRV
Subratllat
Copia
Compara
Comparteix
Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió