1 කොරින්ති 5

5
සභාව අනාචාරයෙන් වැළැක්වීම
1 # ද්වි.නී. 22:30 මිසදිටුවන් වුව ද නුරුස්සන තරමේ අනාචාර ක්‍රියාවක් ඔබ අතර ඇති බව මට ඇත්තට ම ආරංචි වී ඇත. එනම්, ඔබගෙන් කෙනෙකු සිය පියාගේ බිරිඳ තබාගෙන ඉන්න බව ය. 2එවැනි ක්‍රියාවක් ගැන ඔබට ආඩම්බර විය හැකි ද? නැත, ඒ ගැන ඔබ දුක් විය යුතු ය. ඔහු ඔබ වෙතින් නෙරපා දැමිය යුතු ය. 3සැබැවින් ම මම ගතින් ඔබගෙන් ඈත් ව සිටියත්, සිතින් ඔබ සමඟ සිටිමි. එලෙස ඔබ සමඟ සිටින්නාක් මෙන් ම මා දැනටමත් මේ දේ කරන පුද්ගලයා විනිශ්චය කර ඇත. 4එබැවින් සිතින් ඔබ අතර සිටින මා සමඟ, අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ එක්රැස් වූ විට, 5අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ බලයෙන් ඒ පුද්ගලයාගේ ආත්මය සමිඳාණන් වහන්සේගේ දවසේ දී ගැළවෙන පිණිස, ඔහුගේ ශරීරය නාස්ති වන පිණිස ඔහු සාතන්ට භාර කළ යුතු ය.
6 # ගලා 5:9 ඔබගේ පාරට්ටුව නොහොබී. මුහුන් බිඳකින් මුළු පිටි පිඬක් පිපෙන බව ඔබ නොදන්නහු ද? 7#නික්ම 12:5 ඔබ හැම අතින් ම පිරිසිදු වන පිණිස පාපය නමැති මුහුන් ඉවත් කරන්න. එවිට ඔබ අලුත් නුමුහුන් පිටි පිඬක් මෙන් වන්නහු ය. ඔබ දැනට ම එසේ බව මම දනිමි, එසේ වන්නේ අපගේ පාස්කු බැටළුවා වන ක්‍රිස්තුන් වහන්සේ පූජා කර ඇති බැවිනි. 8#නික්ම 13:7; ද්වි.නී. 16:3 එබැවින් පරණ මුහුන්වලින් වත්, ඊර්ෂ්‍යාව සහ දුෂ්ටකම නමැති මුහුන්වලින් වත් නොව, අවංකකම ද සත්‍යය ද නමැති නුමුහුන් පූපයෙන් පාස්කු මංගල්‍යය පවත්වමු.
9මා ඔබ වෙත එවූ ලිපියේ අනාචාරයේ හැසිරෙන මිනිසුන් ඇසුරු නොකරන ලෙස, ලීවෙමි. 10එයින් මා අදහස් කෙළේ මේ ලෝකයේ මිසදිටුවන් අතර සිටින, අනාචාරයේ හැසිරෙන අයගෙන් ද වස්තු තෘෂ්ණාව ඇති අයගෙන් ද කොල්ලකන අයගෙන් ද රූප වඳින අයගෙන් ද සම්පූර්ණයෙන් ම වෙන් වීම නොවේ. එසේ කිරීමට නම් ඔබ ලෝකයෙන් වෙන් විය යුතු ය. 11එයින් මා ඇත්තට ම අදහස් කෙළේ කිතුනුවෙකැ යි කියා ගනිමින් අනාචාරයේ හැසිරෙන්නෙකු හෝ වස්තු තෘෂ්ණාව ඇති කෙනෙකු හෝ රූප වඳින්නෙකු හෝ නින්දා කරන්නෙකු හෝ බේබද්දෙකු හෝ කොල්ලකන්නෙකු හෝ ඇසුරු නොකිරීම පමණක් නොව, එවැන්නෙකු සමඟ ආහාර වත් නොවැළඳීමයි.
12සභාවෙන් පිටත වූවන් විනිශ්චය කිරීම මාගේ වැඩක් ද? දෙවියන් වහන්සේ ඔවුන් විනිශ්චය කරන සේක. 13#ද්වි.නී. 13:5; 17:7 සභාව තුළ සිටින්නවුන් විනිශ්චය කිරීම ඔබේ යුතුකම නොවේ ද? එසේ නම් ඔබ අතරින් ඒ දුෂ්ටයා පහ කරන්න.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió