උත්පත්ති 29

29
ජාකොබ් ලාබන්ගේ නිවසට පැමිණීම
1ජාකොබ් ගමන් කොට පෙරදිග ජනයාගේ දේශයට පැමිණියේ ය. 2එවිට ඔහු බැලූ කල පුදුමයකට පිට්ටනියේ ළිඳක් ද, ළිඳ ළඟ වැතිර සිටි බැටළු රැළවල් තුනක් ද දිටී ය. බැටළුවන්ට වතුර දෙන ලද්දේ ඒ ළිඳෙන් ය. තවද, ළිං කටේ තැබූ විශාල ගලක් විය. 3බැටළු රැළවල් සියල්ල ම එතැනට එකතු වූ විට, එඬේරු ළිං කටින් ගල පෙරළා බැටළුවන්ට වතුර දුන් පසු, ළිං කටේ තිබූ තැන ම ගල නැවත තැබූ හ.
4ජාකොබ් එඬේරුන් අමතා, “සහෝදරයෙනි, ඔබ කොහේ සිට ආවහු දැ”යි ඇසූ විට, “අපි හාරාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ. 5ඔහු නැවත කතා කරමින්, “නාහෝර්ගේ පුත් ලාබන්, ඔබ දන්නහු දැ”යි ඇසූ විට, “අපි ඔහු දන්නෙමු”යි ඔව්හු පිළිතුරු දුන්හ. 6එවිට ජාකොබ් ඔවුන් අමතමින්, “ඔහු සුව සේ සිටී දැ”යි ඇසූ විට, “ඔහු සුව සේ සිටියි. අර බැටළුවන් සමඟ එන්නී ඔහුගේ දියණිය වන රාකෙල් ය”යි ඔව්හු කී හ. 7එවිට ජාකොබ්, “තවමත් මද්දහන ය. බැටළු රැළවල් රැස් කරන වේලාව නොවෙයි; එබැවින් බැටළුවන්ට වතුර දී, තණ බිමට ඔවුන් ආපසු ගෙනයන්නැ”යි කී ය. 8ඔව්හු උත්තර දෙමින්, “බැටළු රැළවල් සියල්ල ම එකතු කර, ළිං කටින් ගල පෙරළාදමන තුරු, අපට එසේ කළ නොහැක. බැටළුවන්ට වතුර දෙන්නේ එවිට ය”යි කී හ.
9ජාකොබ් මෙසේ ඔවුන් සමඟ කතා කරමින් සිටිය දී රාකෙල් තම පියාගේ බැටළුවන් සමඟ පැමිණියා ය. මන්ද, උන් රැකබලාගත්තේ ඈ ය. 10ජාකොබ් තම මාමා වන ලාබන්ගේ දුව වන රාකෙල් ද තම මාමාගේ බැටළුවන් ද දුටු විට, ඔහු ළං වී, ළිං කටින් ගල අහකට පෙරළා, තම මාමාගේ බැටළුවන්ට වතුර බොන්න දුන්නේ ය. 11පසුව ඔහු රාකෙල් සිඹගෙන, මහ හඬින් හැඬී ය. 12තවද, තමා ඇගේ පියාගේ නෑයෙකු බවත්, රෙබෙකාගේ පුත්‍රයා බවත් ඔහු රාකෙල්ට දැන්වී ය. ඈ ද දිව ගොස් තම පියාට ඒ බව දැන්වූවා ය. 13ලාබන් තම සොහොයුරීගේ පුත් ජාකොබ්ගේ වගතුග ඇසූ විට, ඔහු හමු වීමට දිව ගොස්, ඔහු සිප වැළඳගෙන තම නිවසට ඔහු ගෙනාවේ ය. 14එවිට ලාබන් ඔහුට කතා කොට, “සැබැවින් ම ඔබ මාගේ ම මස් හා ලේ නෑයෙක් ය”යි කී ය. ජාකොබ් ද ඔහු සමඟ මාසයක් විසී ය.
ජාකොබ්ගේ විවාහය
15ඉන්පසු ලාබන් ජාකොබ්ට කතා කොට, “ඔබ මාගේ ඥාතියෙකු නිසා නොමිලේ මට සේවය කිරීම යුතු ද? ඔබේ වේතනය කුමක් දැ යි මට දන්වන්නැ”යි කී ය. 16ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියාහ. වැඩිමලාගේ නම ලෙයා ය; බාලයාගේ නම රාකෙල් ය. 17ලෙයාගේ ඇස් සිවුමැලි ය; රාකෙල් රූමත් ය, සුකොමල ය, 18ජාකොබ් රාකෙල්ට පෙම් බැඳ, “ඔබේ බාල දූ වන රාකෙල් නිසා අවුරුදු සතක් මම ඔබට සේවය කරන්නෙමි”යි කී ය. 19ලාබන් ද කතා කොට, “වෙන මිනිසෙකුට ඈ පාවා දෙනවාට වඩා, ඔබට ඈ දීම හොඳ ය. එබැවින් මා සමඟ නවතින්නැ”යි උත්තර දුනි. 20ජාකොබ් ද රාකෙල් නිසා අවුරුදු සතක් සේවය කෙළේ ය. එහෙත්, ඔහු ඈට ප්‍රේම කළ බැවින් ඒ ගත කළ කාලය ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟිණි.
21ඉන්පසු ජාකොබ් ලාබන්ට කතා කොට, “මාගේ සේවා කාලය දැන් සම්පූර්ණ වී ඇත. මාගේ භාර්යාව සමඟ එක් වනු පිණිස ඇය මට දෙන්නැ”යි ඉල්ලී ය. 22ලාබන් එහි සිටි සියලු මිනිසුන් කැඳවා මංගල භෝජනයක් පැවැත්වී ය. 23පසුව එම රාත්‍රියේ ඔහු, තම දුව වන ලෙයා කැඳවා ගෙන ජාකොබ් වෙත ගෙනාවේ ය. ජාකොබ් ද ඈ සමඟ එක් විය. 24තවද, ලාබන් තම දාසිය වන ශිල්පා, ලෙයාගේ සේවිකාව වශයෙන් තම දුවට දුන්නේ ය. 25පසු දින උදය පහන් වූ කල පුදුමයකට මෙන්, එහි සිටියේ ලෙයා ය. එවිට ඔහු ලාබන් අමතා, “ඔබ මට කළ මේ දේ කුමක් ද? මා ඔබට සේවය කෙළේ රාකෙල් නිසා නොවේ ද? ඔබ මා රැවටුවේ මන්දැ”යි ඇසී ය. 26ලාබන් ද උත්තර දෙමින්, “වැඩිමලාට කලින් බාලයා සරණ පාවා දීම අපේ රටේ සිරිත නොවේ. 27ඇගේ මංගල සතිය සම්පූර්ණ කරන්න, ඔබ මට තව සත් අවුරුද්දක් සේවය කරන්නෙහි නම් රාකෙල් ද ඔබට සරණ පාවා දෙන්නෙමි”යි කී ය. 28ජාකොබ් ද එසේ කර, මංගල සතිය සම්පූර්ණ කළ පසු, ලාබන් ඔහුට තම දුව වන රාකෙල්, බිරිඳ වශයෙන් සරණ පාවා දුන්නේ ය. 29ඔහු, තම දාසිය වන බිල්හා, තම දුව වන රාකෙල්ට ඇගේ සේවිකාව වශයෙන් දුනි. 30ජාකොබ්, රාකෙල් සමඟ ද එක් වුණි. ඔහු ලෙයාට වඩා රාකෙල්ට ප්‍රේම කළේ ය. තව අවුරුදු සතක් ද ලාබන්ට සේවය කෙළේ ය.
ජාකොබ්ගේ දරුසම්පත
31තවද, ලෙයා සිය සැමියාට නුරුස්සන බව සමිඳාණන් වහන්සේ දුටු විට, උන් වහන්සේ ඈට පිළිසිඳගන්නට සැලැස්සූ සේක. එහෙත්, රාකෙල් වඳ ස්ත්‍රියක් වූවා ය. 32ලෙයා ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. එවිට ඈ, “සමිඳාණන් වහන්සේ මාගේ දුක බැලූ සේක. දැන් වත් මාගේ සැමියා මට ප්‍රේම කරනු ඇතැ”යි කියමින් ඈ ඔහුට රූබන් යන නම දුන්නා ය. 33ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. “මා නුරුස්සන බව සමිඳාණන් වහන්සේ දුටු බැවින් උන් වහන්සේ මට මේ පුතු ද, දුන් සේකැ”යි කියමින් ඈ ඔහුට සිමියොන් යන නම තැබුවා ය. 34ඈ නැවතත් පුතෙකු ලැබුවා ය. “මා මාගේ ස්වාමි පුරුෂයා හට පුතුන් තිදෙනෙකු දුන් බැවින් දැන් වත් ඔහු මට ඇලුම් වන්නේ ය” කියා ඈ ඔහුට ලෙවී යන නම තැබුවා ය. 35ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ඈ, “දැන් මම සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නෙමි”යි කියමින් ඔහුට ජුදා යන නම දුන්නා ය. ඉන්පසු ඇගේ ගැබ් ගැනීම නැවතිණි.

Subratllat

Comparteix

Compara

Copia

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió