උත්පත්ති 14
14
ආබ්‍රම් ලොත් මුදාගැනීම
1එසමයෙහි ෂීනාර්හි රජ වූ අම්රාපෙල් ද, එල්ලාසාර්හි රජ වූ අරියොක් ද, එලාම්හි රජ වූ කෙදොර්-ලායොමෙර් ද, ගෝයිම්හි රජ වූ තිදාල් ද යන රජවරු වූ හ. 2මොවුහු සොදොම්හි රජ වූ බෙරා ද, ගොමොරාහි රජ වූ බිර්ෂා ද, අද්මාහි රජ වූ ෂීනාබ් ද ශෙබොයිම්හි රජ වූ ෂෙමේබෙර් සහ බෙලාහි හෙවත් ශොවර්හි රජ ද යන රජවරු පස්දෙනාට විරුද්ධ ව යුද්ධ කළහ. 3මෙකී රජවරු පස්දෙන දැන් මළ මුහුද නමින් හැඳින්වෙන සිද්දීම් මිටියාවතෙහි සමගි පෙරමුණක් බැඳ ගත්හ. 4දොළොස් අවුරුද්දක් තිස්සේ කෙදොර්-ලායොමෙර් රජු යටතේ වහල් මෙහෙවර කළ මොවුහු දහතුන් වන අවුරුද්දේ දී කැරලිගැසූ හ. 5දහහතර වන අවුරුද්දේ දී කෙදොර්-ලායොමෙර් සිය මිත්‍ර රජවරුන් සමඟ විත්, අෂ්තෙරොත්-කර්ණයිම්හි විසූ රෙපාවරුන් ද හාම්හි සිටි සුසිවරුන් ද කිරියාතායිම් තැනිතලාවේ විසූ ඒමිවරුන් ද 6කාන්තාර මායිමේ ඒල්-පාරාන් දක්වා සේයිර් කඳුකරයේ සිටි හෝරිවරුන් ද පරාජය කළේ ය. 7ඔව්හු හැරී ඇවිත් කාදෙෂ් හෙවත් ‘විමංසන-උල්පත’ යන අර්ථය ඇති ඒන්-මිෂ්පාට් දක්වා පැමිණ, අමලෙක්වරුන්ගේ මුළු දේශය ද, හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන් ද පරාජය කළහ.
8එවිට සොදොම්, ගොමොරා, අද්මා, ශෙබොයිම් සහ බෙලා හෙවත් ශොවර් යන නුවරවල රජවරු පස්දෙනා නික්ම ගොස් සමගි පෙරමුණක් බැඳ, 9ඒලාම්හි රජ වූ කෙදොර්-ලායොමෙර් ද, ගොයිම්හි රජ වූ තිදාල් ද, ෂීනාර්හි රජ වූ අම්රාපෙල් ද, එල්ලාසාර්හි රජ වූ අරියොක් ද යන රජවරුන් සතරදෙනාට විරුද්ධ ව සිද්දීම් මිටියාවතෙහි යුද්ධ කළහ. මෙය පස්දෙනෙකු, සතරදෙනෙකුට විරුද්ධ ව කරන සටනක් විය. 10තවද, සිද්දීම් මිටියාවතෙහි බොහෝ කීල් පතල් තිබිණි. සොදොම් හා ගොමොරාහි රජවරු පලා ගොස්, ඒවායේ වැටුණාහ. සෙස්සෝ කඳුකරයට පලා ගියහ. 11ජයග්‍රාහි රජවරු සොදොම් සහ ගොමොරාහි ධනසම්පත් ද, ඔවුන්ගේ ආහාර පාන ද රැගෙන යන්න ගියහ. 12මෙසේ යන විට ඔව්හු සොදොම්හි විසූ ආබ්‍රම්ගේ බෑණා වන ලොත් සහ ඔහුගේ වස්තුවත් රැගෙන ගියහ.
13එහෙත් ඔවුන්ගෙන් ගැළවී පැමිණි කෙනෙක් හෙබ්‍රෙව් ජාතික ආබ්‍රම්ට සියල්ල සැළ කෙළේ ය. එකල ආබ්‍රම් පදිංචි වී සිටියේ එෂ්කොල්ගේ හා අනෙර්ගේ සහෝදරයා වූ, අමෝරිය ජාතික මම්රේගේ ආලෝන අරඹ සමීපයේ ය. මොවුහු දෙදෙන ආබ්‍රම් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගෙන සිටියහ. 14ආබ්‍රම් ද සිය ඥාතිවරයා සිරකරුවෙකු ලෙස අල්ලාගෙන ගිය බව ඇසූ විට, ඔහු සිය කඳවුරේ ම උපන් යුද්ධ පුහුණුව ලත් සේවකයන් තුන්සිය දහඅටදෙනෙකු රැගෙන, දාන් දක්වා සතුරන් ලුහුබැඳ ගියේය. 15එහි දී ඔහුගේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදී රාත්‍රි කාලයේ සතුරන්ට පහර දී ඔවුන් පරාජය කළහ. මෙසේ පරාජය කොට දමස්කස් නුවරට උතුරින් පිහිටි හෝබා දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය. 16තවද, ආබ්‍රම් සියලු වස්තුව ද තම ඥාතිවර ලොත් ද ඔහුගේ ධන සම්පත ද ස්ත්‍රීන් හා අල්ලාගත් සෙනඟ ද ආපසු ගෙනාවේ ය.
මෙල්කිසෙදෙක් ආබ්‍රම්ට ආශීර්වාද කිරීම
17සොදොම්හි රජ තෙමේ ආබ්‍රම් කෙදොර්-ලායොමෙර් හා මොහුගේ මිත්‍රපාක්ෂික රජවරුන් ද පරාජය කර ආපසු පැමිණි විට, ‘රාජකීය දෙණිය’ නම් වූ ෂාවේ මිටියාවතට ඔහු හමුවීම පිණිස ගියේය. 18#හෙබ්‍රෙ 7:1-10 තවද, සාලෙම්හි රජ වූ පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජක වූ මෙල්කිසෙදෙක් රොටි සහ මිදියුස ගෙනැවිත් 19ඔහුට ආශීර්වාද කරමින්,
“අහසත්, පොළොවත් මවා වදාළ පරමෝත්තම දෙවියන් වහන්සේ ආබ්‍රම්ට ආශීර්වාද කරන සේක් වා!
20ඔබේ සතුරන්, ඔබ අතට පාවා දුන් පරමෝත්තම දෙවියන් වහන්සේට තුති පැසසුම් වේ වා!”යි
කීවේ ය. ආබ්‍රම් ද සියල්ලෙන් දසයෙන් එක ඔහුට දුන්නේ ය.
21එවිට සොදොම්හි රජ ආබ්‍රම්ට කතා කොට, “ධනසම්පත් ඔබට තබාගන්න. මාගේ සෙනඟ පමණක් මට දෙන්නැ”යි කී ය. 22එහෙත්, ආබ්‍රම් රජුට පිළිතුරු දෙමින්, “අහසත්, පොළොවත් මවා වදාළ, පරමෝත්තම දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම දිවුරා කියමි: 23ඔබ සතු දෙයින් එක නූල් පොටක් වත්, සෙරෙප්පු පටියක් වත් මම නොගනිමි. ‘ආබ්‍රම් පොහොසතෙකු කළේ මම ය’යි කීමට ඔබට ඉඩක් මම නොතබමි. 24මාගේ පිරිස අනුභව කළ දේ හා මා සමඟ ගිය මිනිසුන්ගේ කොටස මිස, මා සඳහා ම කිසිවක් මම නොගනිමි. අනේර් ද එෂ්කෝල් ද මම්රේ ද තම තමන්ගේ කොටස් ගනිත් වා”යි කී ය.
Ekhethiweyo ngoku:
උත්පත්ති 14: NRSV
Qaqambisa
Kopa
Thelekisa
Yabelana
Ufuna ukuba iimbalasane zakho zigcinwe kuzo zonke izixhobo zakho? Bhalisela okanye ngena
Ceylon Bible Society