උත්පත්ති 13
13
ආබ්‍රම් ලොත්ගෙන් වෙන් වීම
1ආබ්‍රම් සිය බිරිඳ හා තමන් සතු සියල්ල රැගෙන මිසර දේශයෙන් පිටත් වී නේගෙබ් පළාත බලා ගියේය. ලොත් ද ඔහු සමඟ ගියේය. 2ආබ්‍රම් ගවමහිෂයන්ගෙන් හා රන් රිදීයෙන් ඉතා ධනවතෙක් විය. 3එවිට ආබ්‍රම් නේගෙබ් සිට කඳවුරෙන් කඳවුර ගෙවා බෙතෙල් දිශාවට යමින්, බෙතෙල් හා ආයි නුවර අතර, පළමුවෙන් කඳවුරු බැඳි ස්ථානයට පැමිණියේ ය. 4පළමුවෙන් ඔහු පූජාසනයක් ඉදි කෙළේ මේ ස්ථානයේ ය. මෙහි දී ඔහු සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.
5ආබ්‍රම් සමඟ ගමන් කළ ලොත්ට ද එළු බැටළු, ගවමහිෂයන් සහ ඔහු සමඟ කඳවුරු බැඳගත් පිරිසක් ද වූ හ. 6එබැවින් ඔවුන් දෙදෙනාට ම පොදුවේ ජීවත් වීමට තරම් සෑහෙන තණ බිම් එහි නොතිබිණි. ඔවුන්ට අයිති ගවසම්පත් බොහෝ වූ බැවින් දෙදෙනාට එක් ව විසීමට නොහැකි විය. 7එහෙයින් ආබ්‍රම්ගේ ගොපලුන් හා ලොත්ගේ ගොපලුන් අතර ආරාවුල් හට ගැනිණි. එකල කානානිවරු ද පෙරිස්සිවරු ද එම දේශයෙහි වාසය කළෝ ය.
8එවිට ආබ්‍රම් ලොත්ට කතා කොට, “අප දෙගොල්ල ම නෑදෑයින් බැවින් ඔබ හා මා අතරත්, ඔබේ ගොපලුන් හා මාගේ ගොපලුන් අතරත් ආරාවුල් නො තිබිය යුතු ය. 9මේ මුළු දේශය ම ඔබ ඉදිරියෙහි ඇත; කරුණාකර ඔබ මගෙන් වෙන් වී යන්න. ඔබ වමතට යන්නෙහි නම්, මම දකුණතට යමි. ඔබ දකුණතට යන්නෙහි නම්, මම වමතට යමි”යි කී ය.
10 #
උත් 2:10 ලොත් ද නෙත් ඔසවා ශොවර් දිශා භාගය දක්වා මුළු ජොර්දාන් තැනිතලාව දෙස බැලී ය. එහි හැම තැනට ම, සමිඳාණන් වහන්සේගේ උයනට මෙන් ද, මිසර දේශයට මෙන් ද මැනවින් ජලය සැපයුණු බව දිටී ය. මෙය සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගරයන් විනාශ කිරීමට පෙර ය. 11එබැවින් ලොත් තමාට මුළු ජොර්දාන් තැනිතලාව ම තෝරාගෙන නැගෙනහිර දෙසට ගියේ ය; ඒ දෙදෙනා මෙලෙස එකිනෙකාගෙන් වෙන් වූ හ. 12ආබ්‍රම් කානාන් දේශයෙහි පදිංචි විය. ලොත් තැනිතලාවේ නගර අතර පදිංචි වී සොදොම් නගරය අසල කඳවුරු බැන්දේ ය. 13සොදොම් නුවර වාසීහු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ, නපුරු, මහ අපරාධකාරයෝ වූ හ.
ආබ්‍රම් හෙබ්‍රොන් දෙසට යෑම
14ලොත් වෙන් වී ගිය පසු, සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹ සිටින තැන සිට නෙත් ඔසවා උතුර ද දකුණ ද නැගෙනහිර ද බටහිර ද දෙස සැලකිල්ලෙන් බලන්න. 15#ක්‍රියා 7:5 නුඹට පෙනෙන මේ මුළු රට ම නුඹටත්, නුඹේ පෙළපතටත් සදහට ම මම දෙන්නෙමි. 16ගණනින් පොළොවේ දූවිලි හා සමාන වන ලෙස නුඹේ පරපුර වැඩි වර්ධනය කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි ගණන් කළ හැකි නම්, නුඹේ පෙළපත ද ගණන් කළ හැකි වේ. 17දැන් නුඹ නැඟිට රට පුරා ම ඇවිදින්න. මම මේ සියල්ල ම නුඹට දෙන්නෙමි”යි වදාළ සේක. 18මෙසේ ආබ්‍රම් සිය කඳවුර රැගෙන විත් හෙබ්‍රොන්හි පිහිටි මම්රේහි ආලෝන අරඹ ළඟ පදිංචි වී, සමිඳාණන් වහන්සේට එහි පූජාසනයක් ඉදි කෙළේ ය.
Ekhethiweyo ngoku:
උත්පත්ති 13: NRSV
Qaqambisa
Kopa
Thelekisa
Yabelana
Ufuna ukuba iimbalasane zakho zigcinwe kuzo zonke izixhobo zakho? Bhalisela okanye ngena
Ceylon Bible Society