රූත් 4
4
රූත්-බෝවස් විවාහය
1මේ අතර බෝවස් නගර දොරටු#4:1 නගර දොරටු එනම් නගර දොරටු ප්‍රජා පොළ වෙත ගොස්, එහි අසුන් ගත්තේ ය. එවිට, කලින් ඔහු සඳහන් කළ, මිදීම සිදු කළ හැකි නෑයා#4:1 මිදීම සිදු කළ හැකි නෑයා හෙබ්‍රෙව් ගෝයෙල් 3, 6, 8 හා 14 යන පදවල ද එසේ ම ය. එතැනින් ගමන් ගත්තේ ය. එවිට බෝවස්, “ඒයි යාළුවා, මෙහෙ එන්න; ඇවිත් මෙහි හිඳ ගන්නැ” යි කීවේ ය. ඔහු පැමිණ, හිඳ ගත්තේ ය.
2බෝවස්, නගර වැඩිහිටියන් දස දෙනකු කැඳවා, “මෙහි ඉඳගන්නැ” යි කීවේ ය. ඔවුහු ද ඉඳගත්හ. 3ඉන්පසු ඔහු, මිදීම සිදු කළ හැකි නෑයා අමතමින්, “මෝවබ් දේශයේ සිට පෙරළා පැමිණි නායොමි, අපගේ සහෝදර එලීමෙලෙක්ට අයත් වූ ඉඩම් කැබැල්ල විකුණන්නී ය. 4එබැවින් මෙහි අසුන් ගෙන සිටින මේ අය ඉදිරියේ හා මගේ ජනයාගේ වැඩිහිටියන් ඉදිරියේ, එය මිලයට ගන්නැයි ඔබට දැන්විය යුතු යැයි මා සිතුවා. එය මුදා ගන්නට ඔබ කැමති නම්, එය මුදා ගන්න. එහෙත් ඔබ නො කැමති නම්, මා එය දැනගන්නා පිණිස ඒ වග මට කියන්න. මන්ද ඔබට පෙරාතුව එය මුදාගැන්මේ අයිතිය වෙන කාටවත් නැත. ඊළඟට සිටින්නේ මමයි” කීවේ ය.
“මා එය මුදා ගන්නවා” යි නෑයා පැවසී ය.
5එවිට බෝවස්, “නායොමි අතින් ඔබ මේ ඉඩම මිලයට ගන්නා දවසේ, මළ අයගේ උරුම දේපළ සමඟ ඔහුගේ නාමය පවතින පිණිස, මළ මිනිසාගේ වැන්දඹුව වූ මෝවබිය රූත් ද අත්කර ගන්නේ යැ” යි පැවසී ය.
6මෙවිට, මිදීම සිදු කළ හැකි නෑයා, “එසේ නම්, මට එය මුදා ගන්න බැහැ. මන්ද, එයින් මගේ ම උරුමයට අනර්ථයක් සිදු විය හැකියි. මුදා ගැනීමේ මා සතු අයිතිය ඔබ ම බාර ගන්න. මන්ද මට එය මුදා ගත නො හැකි යැ” යි පැවසී ය.
7ඒ කාලයේ ඉශ්‍රායෙල් දේපළ මුදාගැනීමක් හෝ පැවරීමක් හෝ තීන්දු කිරීමට එක් පාර්ශ්වයක් තම පාවහන ගලවා, අනෙක් පාර්ශ්වයට දෙන්නේ ය. ඉශ්‍රායෙලයේ ගනුදෙනු සහතික කිරීමේ නිත්‍යානුකූල පිළිවෙත වූයේ එයයි.
8එබැවින්, මිදීම සිදු කළ හැකි නෑයා බෝවස් අමතා, “ඔබ ම එය මිලයට ගන්නැ” යි කියා, තම පාවහන ගැලවී ය.
9එවිට බෝවස් වැඩිහිටියන් සියලු දෙනා අමතමින්, “එලීමෙලෙක්ට අයිති ව තිබූ සියල්ල ද කිලියොන්ට හා මාලොන්ට අයිති ව තිබූ සියල්ල ද නායොමිගෙන් මා මිලයට ගත් වගට අද ඔබ සාක්ෂිකරුවෝ ය. 10තවද, මළ මිනිසාගේ නාමය, ඔහුගේ පෙළපත් අතරින් හා නගර ලේඛනවලින් බැහැර නො වන්නට මළ මිනිසාගේ උරුම දේපළ සමඟ ඔහුගේ නාමය ද බල පැවැත්වෙන පිණිස, මාලොන්ගේ වැන්දඹුව වූ මෝවබිය රූත් මගේ බිරිඳ වශයෙන් මා අත්කර ගත් වගට ද අද දවසේ ඔබ සාක්ෂිකරුවෝ යැ” යි පැවසී ය.
11එවිට නගර දොරටුවේ සිටි සියල්ලෝ හා වැඩිහිටියෝ, “අපි සාක්ෂිකරුවෝයි. ඔබේ නිවසට එන කාන්තාව, ඉශ්‍රායෙල් වංශය එක් ව ගොඩ නැංවූ රාඛෙල් හා ලෙයා වාගේ වන්නට ස්වාමින්වහන්සේ සලස්වන සේක්වා! ඔබ එෆ්‍රාතාහි සමෘද්ධිමත් වී, බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේවා! 12මෙම තරුණ කාන්තාව තුළින් ස්වාමින්වහන්සේ ඔබට ලබා දෙන දරු පරපුර තුළින් ඔබගේ වංශය, යූදාට දාව තාමාර් බිහි කළ පෙරෙස්ගේ වංශය මෙන් වේවා!” යි කීහ.
නායොමිට පුතෙක්
13බෝවස් මෙසේ, රූත් අත්කර ගත්තේ ය. ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇය හා එක් වූ කල, ඇයට ගැබ් ගන්නට ස්වාමින්වහන්සේ සැලසූ සේක. ඈ පුතකු බිහි කළා ය. 14එවිට කාන්තාවෝ නායොමි අමතමින්, “අද දවසේ, මිදීම සිදු කළ හැකි නෑයකු ඔබට අහිමි නො කළ ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! ඔහුගේ නාමය ඉශ්‍රායෙලය පුරා කීර්තිමත් වේවා! 15ඔහු, ඔබට ජීවිතය අලුත් කරන්නෙක් ද ඔබේ මහලු වියේදී ඔබ නඩත්තු කරන්නෙක් ද වේවා! මන්ද, ඔහු බිහි කරනු ලැබ ඇත්තේ, ඔබට ප්‍රේම කරන, පුතුන් හත් දෙනකුටත් වඩා ඔබට අගනා ඔබේ ලේළිය විසිනැ” යි කීහ.
16එවිට නායොමි දරුවා ගෙන, තම උකුළේ හොවා, ඔහුගේ ඇතිදැඩි කරන්නිය වූවා ය. 17අසල්වැසි කාන්තාවෝ, “නායොමිට පුතකු ඉපදී ඇතැ” යි කියමින්, ඔහුට ඕබේද් යන නම තැබූහ. දාවිත්ගේ පියා වූ යෙස්සේගේ පියා ඔහු ය.
දාවිත්ගේ වංශාවලිය
18එබැවින් පෙරෙස්ගේ පෙළපත් නාමාවලිය මෙසේ වෙයි.
පෙරෙස්, හෙස්රොන්ගේ පියා ය.
19හෙස්රොන්, රාම්ගේ පියා ය.
රාම්, අම්මිනාදාබ්ගේ පියා ය.
20අම්මිනාදාබ්, නාෂොන්ගේ පියා ය.
නාෂොන්, සල්මොන්ගේ#4:20 සල්මොන්ගේ ඇතැම් හෙබ්‍රෙව් පිටපත් සල්මා පියා ය.
21සල්මොන්, බෝවස්ගේ පියා ය.
බෝවස්, ඕබේද්ගේ පියා ය.
22ඕබේද්, යෙස්සේගේ පියා ය.
යෙස්සේ, දාවිත්ගේ පියා ය.
موجودہ انتخاب:
රූත් 4: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.