රූත් 3
3
කමතේදී රූත්-බෝවස් හමුව
1ඇගේ නැන්දම්මා, නායොමි ඇය අමතමින්, “මගේ දූ, ඔබට හොඳ කල දවසක් යන ලෙස සෙවණක් සලසා දීමට මා උත්සාහ කළ යුතු නො වේ ද? 2ඔබ සමඟ වැඩ කළ තරුණියන්ගේ හාම්පුතා, බෝවස්, අපේ නෑයෙක් නො වේ ද? අන්න! අද රෑ කමතේදී ඔහු යව පොළන්නේ ය. 3එබැවින් දැන් නාගෙන, විලවුන් ගල්වා, ඔබේ හොඳ ම ඇඳුමින් සැරසී, කමතට බැස යන්න. එහෙත්, ඔහු කා, බී නිම වන තෙක්, ඔබ එහි සිටින වග ඔහුට දැනගන්නට ඉඩ නාරින්න. 4ඔහු නිදන්නට හාන්සි වන කල, ඔහු නිදන තැන හොඳින් බලා, පසුව ගොස්, ඔහුගේ පා නිරාවරණ කොට, එහි දිගා වෙන්න. කළ යුතු දේ ඔහු ඔබට කියනු ඇතැ” යි පැවසුවා ය.
5එවිට ඈ, “ඔබ කියන කවර දෙයක් වුව කරන්නෙමි” යි පිළිතුරු දුන්නා ය. 6එබැවින්, කමතට බැස ගිය ඈ, තම නැන්දම්මා උපදෙස් දී තිබූ පරිදි සියල්ල කළා ය.
7බෝවස් කෑමෙන් බීමෙන් පසුව සිත සොම්නස් ව සිටියේ, නිදන පිණිස ධාන්‍ය ගොඩේ එහා කෙළවරට ගියේ ය. නිසොල්මනේ එහි ළඟා වූ ඈ, ඔහුගේ පා නිරාවරණ කොට, දිගා වූවා ය. 8රැය මැදියමේ තිගැස්සුණු ඔහු, හැරී බැලුවේ ය. එවිට මෙන්න! ස්ත්‍රියක් ඔහුගේ පාමුල!
9“ඔබ කවුරු දැ?” යි ඔහු ඇසී ය.
ඈ උත්තර දෙමින්, “මම රූත්, ඔබේ සේවිකාව. ඔබේ සළු කෙළවර මා පිට අතුරන්න. මන්ද ඔබ, මිදීම සිදු කළ හැකි නෑයෙකි#3:9 මිදීම සිදු කළ හැකි නෑයෙකි හෙබ්‍රෙව් ගෝයෙල් 12, 13 පද ද එසේ ම ය.” යි කීවා ය.
10ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා මා දියණිය. පොහොසත් හෝ දුප්පත් හෝ තරුණයින් පස්සේ නො යෑමෙන්, ඔබ දක්වා ඇත්තේ මුලින් දැක්වූවාට වඩා වැඩි පක්ෂපාතීත්වයක්#3:10 පක්ෂපාතීත්වයක් හෙවත් කරුණාවක්. 11එබැවින් දැන් මා දියණියනි, භය වන්න එපා. ඔබ ඉල්ලූ සියල්ල මා ඔබට ඉටු කර දෙන්නම්. ඔබ උදාර කාන්තාවක වග මගේ සහෝදර නගර වාසී සැවොම දනිති. 12කෙසේ වෙතත් මා මිදීම සිදු කළ හැකි නෑයකු බව ඇත්තයි; එහෙත් මට වඩා ළඟ නෑයකු සිටී. 13මේ රැය මෙහි ගත කරන්න. හෙට උදෑසන, මිදීම සිදු කළ හැකි නෑයාගේ වගකීම ඉටු කරන්නට ඔහු කැමති වුණොත් හොඳයි. ඔහු එසේ කළා වේ! එහෙත් ඔහු මිදීම සිදු කරන්නට අකමැති නම්, ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මම මිදීම ඉටු කරන්නෙමි. පහන් වන තුරු හාන්සි වී සිටින්නැ” යි කීවේ ය.
14එබැවින් පහන් වන තෙක් ඔහුගේ පා අද්දර වැතිර සිටි ඈ, කෙනකුට කෙනෙක් හැඳිනගත හැකි වන්නට පළමු නැගිටුණා ය. “ස්ත්‍රියක් කමතට ආ වග දැනගන්නට නො ලැබේවා” යි ඔහු පැවසී ය.
15ඔහු යළි කතා කරමින්, “ඔබ හැඳ සිටින සළුව ගෙනත් අල්ලන්නැ” යි කීවේ ය. ඇය එසේ ඇල්ලූ කල, ඔහු යව හය පංගුවක් මැන, එය ඇගේ කර මත තැබී ය. ඉන්පසු ඈ#3:15 ඈ ඇතැම් පිටපත්වල ඔහු නගරයට ගියා ය.
16ඇය තම නැන්දම්මා වෙත ආ කල, “කොහොම ද, මොකද වුණේ මගේ දුවේ?” යි ඈ ඇසුවා ය.
එවිට, ඒ මිනිසා ඇය උදෙසා කළ සියල්ල ගැන ඇයට පැවසූ ඈ, 17“ ‘ඔබේ නැන්දම්මා වෙත හිස් අතින් යන්න එපා යැ’ යි කියමින්, ඔහු මේ යව හය පංගුවක් මට දුන්නේ යැ” යි කීවා ය.
18එවිට ඈ, “කුමක් සිදු වේ දැයි දැනගන්නා තෙක් සිටින්න මගේ දූ. අද ම මේ කාරණය බේරුමක් කර ගන්නා තුරු ඔහු විවේක ගන්නේ නැතැ” යි කීවා ය.
موجودہ انتخاب:
රූත් 3: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.