1 සාමුවෙල් 1

1
සාමුවෙල්ගේ උපත
1එප්‍රායිම් කඳු රටේ රාමාතයිම්හි සූෆීය පෙළපතේ මිනිසෙක් සිටියේ ය. ඔහුගේ නම එල්කානා ය. එල්කානා, යෙරොහාම්ගේ පුත්‍රයා ය. ඔහු එලීහුගේ පුත්‍රයා ය. ඔහු තොහූගේ පුත්‍රයා ය. ඔහු එප්‍රායිම් ගෝත්‍ර වංශික සූෆ්ගේ පුත්‍රයා ය. 2එල්කානාට භාර්යාවන් දෙදෙනෙක් වූහ. එක් තැනැත්තියකගේ නම හන්නා ය. අනෙක් තැනැත්තිය පෙනින්නා ය. පෙනින්නාට, දරුවෝ සිටියහ. එහෙත් හන්නාට දරුවන් සිටියේ නැත.
3සේනාංකවල ස්වාමින්වහන්සේට#1:3 සේනාංකවල ස්වාමින්වහන්සේට හෙබ්‍රෙව් යහ්වේ සෙබාඕත් නමස්කාර කරන්නට හා යාග පූජා ඔප්පු කරන්නට වසරින් වසර මේ මිනිසා, තම නගරයේ සිට ෂීලෝ වෙත යාමට පුරුදු වී සිටියේ ය. එහි ස්වාමින්වහන්සේගේ පූජකයින් ව සිටියේ ඒලීගේ පුතුන් දෙදෙනා වූ හොෆ්නී හා පීනෙහාස් ය. 4යාග පූජා ඔප්පු කරන දවසේ, එල්කානා තම බිරිඳ වූ පෙනින්නාටත්, ඇගේ සියලු පුතුන් හා දූවරුන්ටත් කොටස් දුන්නේ ය. 5එහෙත් හන්නාට ඔහු දෙගුණයක කොටසක් දුන්නේ ය. ඒ, ස්වාමින්වහන්සේ ඇගේ ගර්භය පියවා තිබුණා වුව ද, ඔහු ඇයට ආදරය කළ නිසා ය. 6ස්වාමින්වහන්සේ ඇගේ ගර්භය පියවා තිබූ බැවින්, ඇගේ තරඟකාරිය ඇය දැඩි ව රිදවනු පිණිස ඇය කෝප ගැන්වීමට පුරුදු ව සිටියා ය. 7වසරින් වසර එසේ සිදු විණි. ස්වාමින්වහන්සේගේ ගෘහයට ගිය හැම විටෙක ම පාහේ ඈ ඇය කෝපගන්වයි. එවිට ඈ හඬන්නට වී, කිසිවක් අහරට නො ගෙන සිටින්නී ය. 8එවිට ඇගේ සැමියා, එල්කානා ඇය අමතමින්, “හන්නා, ඇයි ඔබ හඬන්නේ? ඇයි ඔබ කිසිවක් නො කන්නේ? ඇයි ඔබ සිතින් දුක් වන්නේ? පුතුන් දස දෙනකුටත් වඩා ඔබට මා වටින්නේ නැති දැ?” යි අසයි.
9ෂීලෝහි දී ඔවුන් කෑ-බී පසු, හන්නා නැගිට්ටා ය. ඒ අතර පූජක ඒලී ස්වාමින්වහන්සේගේ මාලිගයේ උළුවස්ස පසෙක අසුනක හිඳගෙන සිටියේ ය. 10අධික සිත් තැවුලෙන් හොඳට ම හැඬූ හන්නා, ස්වාමින්වහන්සේට යාච්ඤා කළා ය. 11ඈ බාරයක් වෙමින්, “අහෝ සේනාංකවල ස්වාමින්වහන්ස, ඔබගේ සේවිකාවගේ දුක්ඛිතකම දෙස බලා, මා මතක් කර, ඔබගේ සේවිකාව අමතක නො කර, ඔබවහන්සේ ඇයට පුතකු ලබා දෙන්නේ නම්, ඔහුගේ මුළු ජීවිත කාලයට ම මම ස්වාමින්වහන්සේට ඔහු දෙන්නෙමි. දැළි පිහියක් කිසි දින ඔහුගේ හිසට තබනු නැතැ” යි කීවා ය.
12ඇය ස්වාමින්වහන්සේ අබියස යාච්ඤා කරද්දී, ඒලී ඇගේ මුව දෙස බලා සිටියේ ය. 13හන්නා යාච්ඤා කළේ ඇගේ හදවතින් ය. ඇගේ තොල් සැලුණා විනා ඇගේ කටහඬ ඇසුණේ නැත. එබැවින් ඇය බීමත් ව සිටිතැයි සිතූ ඒලී, 14ඇය අමතමින්, “තව කොපමණ වේලා නුඹ බීමත් ව හැසිරෙනවා ද? නුඹේ මිදි යුෂ මතින් මිදෙන්නැ” යි කීවේ ය.
15හන්නා පිළිතුරු දෙමින්, “එසේ නො වෙයි මා ස්වාමිනි, මා හොඳටෝ ම දුකට පත් ස්ත්‍රියක්; මා මිදි යුෂ හෝ අන් මත්පැනක් බීලා නො වේ. මා කළේ ස්වාමින්වහන්සේ ඉදිරියේ මගේ සිත්සතන් වැගිරවීමයි. 16ඔබගේ සේවිකාව වන මා කමකට නැති තැනැත්තියකැයි සිතන්න එපා. මා මහත් සිත් සංතාපයෙන් හා සෝ තැවුලෙන් යුතු ව කන්නලව් කරමින් සිටියා” යි කීවා ය.
17එවිට ඒලී පිළිතුරු දෙමින්, “ශාන්ති සිතින් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේගෙන් ඔබ ඉල්ලූ දේ ඉෂ්ට කර දෙන සේක්වා!” යි කීවේ ය.
18ඈ කතා කරමින්, “ඔබේ සේවිකාව වන මට ඔබ හමුවෙහි ප්‍රසාදය ලැබේවා!” යි කීවා ය. ඉන්පසු එම කාන්තාව ආපසු ගොස්, ආහාර ගත්තා ය. තවදුරටත් ඇගේ මුහුණ සෝ බරිත නො වී ය.
19පසු දා අරුණ උදෙන් පිබිදුණු ඔවුහු, ස්වාමින්වහන්සේ ඉදිරියේ නමස්කාර කොට, පසුව රාමාහි තම නිවස බලා පිටත් ව ගියහ. එල්කානා තම බිරිඳ වූ හන්නා සමඟ එක් වුණේ ය. ස්වාමින්වහන්සේ ඇය සිහි කළ සේක. 20මෙසේ නිසි කල්හි හන්නා ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. ඈ ඔහුට සාමුවෙල්#1:20 සාමුවෙල් හෙබ්‍රෙව් ෂෙමූ-ඒල් දෙවියන්වහන්සේ සවන් දුන් සේක ලෙස උච්චාරණයේදී ඇසේ. යන නාමය තැබුවා ය. මන්ද, “ස්වාමින්වහන්සේගෙන් මම ඔහු ඉල්ලා ගතිමි” යි ඈ කීවා ය.
හන්නා සාමුවෙල් කැපකරයි
21ඇගේ ස්වාමියා වන එල්කානා තමාගේ මුළු පවුල ද කැටිව ස්වාමින්වහන්සේට වාර්ෂික යාග පූජා පුද කරන්නටත්, තම බාරය ඔප්පු කරන්නටත් නික්ම ගියේ ය. 22එහෙත් හන්නා ගියේ නැත. තම සැමියා ඇමතූ ඈ, “ළමයා කිරි වැරූ විගස, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටින පිණිස හා සදහට ම එහි වෙසෙන පිණිස මා ඔහු ගෙන එන්නම්” යි කීවා ය.
23එල්කානා, ඇගේ සැමියා, ඇයට පිළිතුරු දෙමින්, “වඩාත් හොඳ යැයි ඔබට පෙනෙන හැටියට කරන්න. ඔහු කිරි වරන තුරු මෙහි නැවතී සිටින්න. එහෙත් ස්වාමින්වහන්සේ ස්වකීය වචනය#1:23 ස්වකීය වචනය හෝ ඔබේ තහවුරු කරන සේක්වා” යි කීවේ ය. එබැවින් ඒ කාන්තාව දරුවාට කිරි දීම නවතන තෙක් නිවසේ නැවතී, ඔහු පෝෂ්‍ය කළා ය.
24ළමයා කිරි වැරූ පසු ඈ, ඔහු කැඳවාගෙන, ඒ සමඟ තුන් අවුරුදු ගවයකු ද පිටි ඒෆාවක් ද මිදි යුෂ සම් බඳුනක් ද ගෙන, ෂීලෝහි ස්වාමින්වහන්සේගේ ගෘහයට ඔහු රැගෙන ආවා ය. ළමයා ළාබාලයෙක් ව සිටියේ ය. 25ඔවුහු ගවයා මැරූ පසු, ඒලී වෙත ළමයා ගෙන ආහ. 26ඈ ඔහුට කතා කරමින්, “ස්වාමිනි, සැබවින් ම ඔබ ජීවත් වන වග සැබෑ සේ ම, ඔබ ඉදිරියෙහි මෙහි පසෙක සිටගෙන ස්වාමින්වහන්සේට කන්නලව් කළ කාන්තාව මමයි. 27මා යාච්ඤා කළේ මේ දරුවා උදෙසායි. මා උන්වහන්සේට කළ අයැදුම ස්වාමින්වහන්සේ මට ප්‍රදාන කළ සේක. 28එබැවින් දැන් මම ඔහු ස්වාමින්වහන්සේට දෙන්නෙමි. මන්ද ඔහු ජීවත් වන තුරා, ඔහු ස්වාමින්වහන්සේට” යැයි කීවා ය. ඔහු එහිදී ස්වාමින්වහන්සේට නමස්කාර කළේ ය.

موجودہ انتخاب:

1 සාමුවෙල් 1: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in