ද්විතීය 21

21
නිදොස් ලේ වැගිරවීමකදී
1ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට හිමි කර ගන්නට දෙන දේශයේ එළිමහන් බිමෙක, යමකු මරා දමා තිබී හමු වුවහොත්, ඔහු මරා දමන ලද්දේ කවරකු විසින්දැයි නො දන්නේ නම්, 2ඔබේ වැඩිහිටියන් හා විනිසුරුවන් පිටත් ව ගොස්, මළ සිරුරේ සිට අසල නගරවලට ඇති දුර මැනිය යුතු ය. 3ඉන්පසු මළ සිරුරට කිට්ටුවෙන් ම ඇති නගරයේ වැඩිහිටියන්, කිසි දිනෙක වැඩක නො යෙදූ, කිසි දින වියගහ නො දැරූ එළ වැස්සියක ගෙන, 4නො වැපුරූ හෝ වගා නො කළ තැනක දිය පාරක් සහිත මිටියාවතකට ඌ දක්කා, එහිදී ඔවුන් එළ වැස්සියගේ බොටුව කැඩිය යුතු ය. 5එවිට ලෙවීය පුතුන් වූ පූජකවරුන් ඉදිරියට පැමිණිය යුතු ය. මන්ද, ස්වාමින්වහන්සේගේ නාමයෙන් සේවය කිරීමටත්, ආශිර්වාද ප්‍රකාශ කිරීමටත්, වාද විවාද හා පහරදීම් ගැන සියලු නඩු, තීන්දු කිරීමටත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ විසින් තෝරාගනු ලද්දෝ ඔවුහු වන බැවිනි. 6ඉන්පසු මළ සිරුරට සමීප ව ම පිහිටි නගරයේ වැඩිහිටියන්, මිටියාවතේ බොටුව කඩා දමනු ලැබූ වැස්සිය මත තම අත් සේදිය යුතු ය. 7තවද ඔවුන්, “අපේ අත්වලින් මේ ලේ වැගිරීම කළේ නැත. එසේ කරනු අපේ ඇස්වලින් දුටුවේ ද නැත. 8ඔබ ම මිදූ ඔබේ ජනයා වන ඉශ්‍රායෙල්වරුන් උදෙසා මෙම පාප වන්දි නිවාරණය පිළිගත මැනව, අහෝ ස්වාමින්වහන්ස! නිදොස් මිනිසකුගේ ලේ වැගිරීමේ වරද ඔබේ ජනයා පිට නො තැබුව මැනව” යි කිය යුතු ය. එවිට ලේ වැගිරවීමේ වරද නිවාරණය කෙරේ. 9ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නිවැරදි දේ කිරීමෙන් නිදොස් ලේ වැගිරවීමේ වරද ඔබ විසින් පහ කර දැමිය යුතු ය.
අල්ලා ගත් කාන්තාවක් විවාහ කර ගැනීම
10ඔබේ සතුරනට එරෙහිව ඔබ යුද්ධයට ගොස්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ අතට ඔවුන් යටත් කර දී, ඔබ ඔවුන් අල්ලා ගත් කල, 11එසේ අල්ලා ගත් අය අතර සිටින රූමත් ළඳක ඔබේ ඇස ගැසී, ඇය වෙත ඔබේ සිත ඇදී ගියහොත්, ඇය ඔබේ බිරිඳ වශයෙන් ගැනීමට ඔබට පුළුවන. 12ඔබේ නිවසට ඇය කැඳවාගෙන අවුත්, ඇය ඇගේ හිස මුඩු කර, ඇගේ නිය කපා, 13අල්ලා ගනු ලැබූ විට ඇය හැඳ සිටි ඇඳුම් ඉවතලන්නට ඇයට සලස්වන්න. මෙසේ ඇය ඔබේ නිවසේ නැවතී, ඇගේ මවු පියන් ගැන පුරා මසක් ශෝක වූ පසු, ඇය වෙත ගොස්, ඇගේ සැමියා වන්නට ඔබට පුළුවන. ඈ ඔබේ බිරිඳ වන්නී ය. 14පසුව ඔබ ඇයට නො කැමති නම්, රිසි තැනකට යන්නට ඇයට ඉඩ හළ යුතු ය. ඔබ ඇය තබා ගත් බැවින්, ඇය විකිණීමට හෝ වහලියක සේ සැලකීම හෝ නො කළ යුතු ය.
කුලුඳුල් අයිතිය
15ඔහුගේ ආදරය ලබන තැනැත්තියක හා ආදරය නො ලබන තැනැත්තියක යන වශයෙන් යමකුට භාර්යාවන් දෙදෙනෙක් සිටිත් නම්, දෙදෙනා ම ඔහුට දාව පුතුන් බිහි කරන නමුදු, ඔහුගේ කුලුඳුල් පුතු බිහි කර ඇත්තේ ඔහු ප්‍රේම නො කරන බිරිඳ නම්, 16ඔහු තමා සතු දේපළ තම පුතුනට පවරා දෙන කල, ඔහුගේ සැබෑ කුලුඳුලා වූ ඔහු ප්‍රේම නො කරන බිරිඳගේ පුතු වෙනුවට ඔහු ප්‍රේම කරන බිරිඳගේ පුතුට කුලුඳුල්කමේ අයිතිය නො දිය යුතු ය. 17තමා ප්‍රේම නො කරන බිරිඳගේ පුත්‍රයා තම කුලුඳුල් පුතු බවට ඔහු ඒත්තු ගත යුත්තේ, තමා සතු සියල්ලෙන් උරුම කොටස් දෙකක් ඔහුට දීමෙනි. ඔහුගේ සවියේ නාඹුල් පලය එම පුතු ය. කුලුඳුල්කමේ අයිතිය හිමි ඔහුට ය.
කැරලිකාර පුතු
18තම මව් පියනට කීකරු නැති, ඔවුන් ඔහු හික්මවන කල ඔවුනට සවන් නො දෙන, මුරණ්ඩු, හිතුවක්කාර පුතකු කෙනකුට සිටී නම්, 19ඔහුගේ මවු පිය දෙදෙනා ඔහු අල්ලා, පුර දොරටුවේ සිටින එපුර වැඩිහිටියන් වෙත ඔහු ගෙන ආ යුතු ය. 20අවුත්, වැඩිහිටියන් අමතා, “අපේ මේ පුතා මුරණ්ඩු හිතුවක්කාරයෙකි. ඔහු අපට කීකරු නො වෙයි. ඔහු නාස්තිකාරයෙකි; බේබද්දෙකි” යි කියත්වා. 21එවිට පුරවාසී සියල්ලෝ ඔහු මැරෙන තුරු ගල් ගසත්වා! ඔබ අතරෙහි වන දුෂ්ටකම ඔබ පහ කර දැමිය යුතු ය. සියලු ඉශ්‍රායෙල් ජනයා ඒ අසා, භය වනු ඇත.
විවිධ අණ-පනත්
22මරණ දඬුවමට සුදුසු අපරාධයකට වරදකරු වූවකු මරණයට පත් කරනු ලදුව, ඔහුගේ සිරුර ගසක එල්ලන ලද්දේ නම්, 23මළසිරුර රැයේ ගසේ තිබෙන්නට නෑරිය යුතු ය. ඒ දවසේ ම එය භූමදාන කරන්නට වග බලා ගන්න. මන්ද, ගසක එල්ලනු ලැබ සිටින්නා දෙවියන්වහන්සේගේ ශාපයට යටත් බැවිනි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට උරුමයක් කොට දෙන දේශය, ඔබ දූෂ්‍ය නො කළ යුතු ය.

موجودہ انتخاب:

ද්විතීය 21: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in