ද්විතීය 20
20
යුද්ධයට යෑම
1ඔබේ සතුරනට එරෙහිව ඔබ යුද්ධයට යන කල, අශ්වයින් ද යුධ රථ ද ඔබේ හමුදාවට වඩා විශාල සේනාවක් ද දකින කල, ඒවාට භය නො වන්න. මන්ද ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ ය. 2ඔබ සටනට යන්නට සැරසෙද්දී, පූජකයා ඉදිරියට අවුත් සේනාව ඇමතිය යුතු ය. 3ඔහු, “එම්බා ඉශ්‍රායෙල්, අද ඔබ, ඔබේ සතුරනට එරෙහිව යුද්ධයට යන්න ළඟයි. අධෛර්ය වන්න එපා; භය වන්න එපා; තැති ගන්න එපා; ඔවුන් ඉදිරියේ කලබල වන්න එපා. 4මන්ද ඔබට ජය දෙන පිණිස ඔබේ සතුරන්ට එරෙහිව සටනට ඔබ සමඟ පිටත් ව යන තැනැත්තාණෝ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යැ” යි කියත්වා!
5එවිට නිලධාරීහු සේනාව අමතමින්, “යමෙක් අලුත් නිවසක් ගොඩ නගා, එහි ගෙවැදීම නො කළ#20:5 ගෙවැදීම නො කළ එනම් කැප නො කළ ඔහු ගෙදර ගියා වේ. නැතහොත්, යුද්ධයේදී ඔහු මිය ගොසින්, වෙන කෙනකු එහි ගෙවැදිය හැකි බැවිනි. 6යමෙක් මිදි වත්තක් වවා, එහි පල භුක්ති වින්දේ නැති ද? ඔහු ගෙදර ගියා වේ. නැතහොත් යුද්ධයේදී ඔහු මිය ගොසින්, වෙනකකු එය භුක්ති විඳිය හැකි බැවිනි. 7යමෙක් කාන්තාවක හා විවා ගිවිස, ඇය ආවාහ කර ගත්තේ නැති ද? ඔහු ගෙදර ගියා වේ. නැතහොත්, යුද්ධයේදී ඔහු මිය ගොසින්, අනෙකකු ඇය ආවාහ කර ගත හැකි බැවිනි” යි කියත්වා. 8නිලධාරීහු මෙසේ ද කියත්වා: “තැති ගත් හෝ බියගුලු යමෙක් සිටී ද? ඔහු ගෙදර ගියා වේ. නැතහොත් ඔහුගේ සහෝදරයින්ගේ සිත් ද අධෛර්යට පත් වනු ඇත.” 9නිලධාරීන් එසේ සේනාව ඇමතූ පසු, ඔවුන් හමුදා සෙන්පතීන් පත් කළ යුතු ය.
10ඔබ යම් පුරවරයකට පහර දෙන්නට ළං වන කල, ඊට සාම යෝජනාවක් පිළිගන්වන්න. 11ඔබගේ සාම යෝජනාව පිළිගැනී, ඒ පුර දොරටු ඔබට විවර වුවහොත්, පුරවැසි සියල්ලෝ ඔබට බර වැඩ කර දෙන යටත් වැසියන් වන්නෝ ය. ඔවුන් ඔබට මෙහෙ කරනු ඇත. 12එහෙත් ඔවුන් සාමය ප්‍රතික්ෂේප කරමින්, ඔබ හා යුද්ධ වැදුණහොත්, ඒ පුරය වටලන්න. 13ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ එය ඔබේ අතට යටත් කර දුන් කල, එහි සියලු පිරිමින් කඩුවෙන් මරා දමන්න. 14එහෙත් කාන්තාවන් හා ළමයින් ද පශු සම්පත ද ඒ නගරයේ ඇති අන් සියල්ල ද කොල්ලයක් වශයෙන් ඔබට ගත හැකි ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ සතුරන්ගෙන් ඔබට දෙන කොල්ලය, ඔබ භුක්ති විඳිත්වා. 15ළඟ පාත වෙසෙන ජාතීන්ට අයත් නො වූ, ඔබෙන් දුර බැහැර පුර නගර සියල්ල පිළිබඳව ඔබ ක්‍රියා කළ යුත්තේ එලෙසිනි.
16එහෙත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට උරුමයක් කර දෙන මෙම ජාතීන්ගේ පුරවරවල, පණ ඇති කිසිවක් ඔබ ඉතිරි නො කළ යුතු ය. 17ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අණ කර ඇති පරිදි හිත්තිවරුන්, අමෝරිවරුන්, කානානිවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් හා යෙබූසිවරුන් සම්පූර්ණයෙන් විනාශ කර දැමිය යුතු ය#20:17 සම්පූර්ණයෙන් විනාශ කර දැමිය යුතු ය එනම් විනාශය පිණිස ස්වාමින්වහන්සේට පූජාවක් ලෙස වෙන් කරනු ලැබීම. 18නැතහොත්, ඔවුන්ගේ දෙවිවරුනට නමස්කාර කිරීමේදී, ඔවුන් කරන සියලු පිළිකුල්කම් අනුගමන කරන්නට ඔවුන් ඔබට උගන්වනු ඇත. එවිට ඔබත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව පව් කරත හැකි බැවිනි.
19යම් පුරවරයක් අල්ලා ගැනීමට ඊට එරෙහිව සටන් වදිද්දී, දිගු කලක් ඔබ එය වටලා සිටින කල, එහි ඇති ගස් පොරොවකින් වනසා නො දමන්න. මන්ද ඒවායේ පල, ඔබට අනුභව කළ හැකි බැවිනි. ඒවා කපා නො දමන්න. ඔබ විසින් වටලන්නට තරම් එළිමහනේ ගස් සතුරු ජනතාවක් ද? 20එහෙත් ආහාරයට නුසුදුසු වග ඔබ දන්නා ගස් කපා, ඔබ හා යුද වැද සිටින පුරවරය සටනින් වැටෙන තෙක්, ඊට එරෙහිව වැටලුම් ගොඩැලි තැනීමට ඒවා යොදා ගත හැක.
موجودہ انتخاب:
ද්විතීය 20: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.