ද්විතීය 22
22
1ඔබේ සහෝදරයාගේ ගවයකු හෝ බැටළුවකු මංමුළා ව යනු ඔබ දුටුවහොත්, ඌ මග හැර නො යා, ඌ ගෙන ගොස්, භාර දිය යුතු ය. 2සතා අයිතිකරු වෙසෙන්නේ ඔබ අසලක නො වේ නම් හෝ ඔහු කවුරු ද යන්න ඔබ නො දනී නම්, ඌ ගෙදර ගෙන ගොස්, හිමිකරු ඌ සොයමින් එන තෙක්, තම භාරයේ තබා ගන්න. ඔහු ආ කල, ඌ ඔහුට භාර දෙන්න. 3ඔබේ සහෝදරයාගේ බූරුවා හෝ ඔහුගේ කබාය හෝ නැති වූ ඔහුගේ අන් යමක් හෝ ඔබට හමු වූ කල, එලෙස ම ක්‍රියා කරන්න. එය මග හැර නො යන්න.
4ඔබේ සහෝදරයාගේ බූරුවා හෝ ඔහුගේ ගවයා හෝ පාරේ වැටී සිටිනවා ඔබ දුටුවහොත්, එය මග හැර නො යා, ඌ නැගිටුවන්නට ඔහුට සහාය වන්න.
5කාන්තාවක පිරිමි ඇඳුම් නෑඳිය යුතු ය. පිරිමියකු කාන්තා ඇඳුම් නෑඳිය යුතු ය. එසේ කරන අය ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පිළිකුලකි.
6පාර අයිනේ ගසක හෝ බිම හෝ කුරුලු කූඩුවක් තිබෙනු ද මවු කිරිල්ල පැටවුන් මත හෝ බිත්තර මත ලැග සිටිනු ද ඔබට හමු වුවහොත්, පැටවුන් සමඟ මවු කිරිල්ල නො ගන්න. 7ඔබට සෙත සැලසෙන පිණිසත්, ආයු බොහෝ වන පිණිසත් මවු කිරිල්ලට යන්න හරින්න; එහෙත් පැටවුන් ඔබට ගත හැකි ය.
8ඔබ අලුත් නිවසක් ගොඩ නගන කල, ඔබේ ගෙපියස්ස කෙළවර වටා, ගරාදි වැටක් දමන්න. එසේ කළ යුත්තේ, යමකු වහලින් වැටී, ලේ හැලීමේ වරද ඔබේ නිවස පිට නො පැමිණෙන පිණිස ය.
9ඔබේ මිදි වත්තේ දෙවර්ගයක බීජ නො වපුරන්න. එසේ කළහොත් ඔබ වැපුරූ වැවිල්ලේ පලදාව පමණක් නො ව, වත්තේ මිදි අස්වැන්න ද ශුද්ධස්ථානයට අයිති වන්නේ ය.
10කුඹුරු හානා විට ගවයකු හා බූරුවකු එක වියගහක නො බඳින්න.
11ලෝම සහ හණ එකට වියන ලද ඇඳුම් නො අඳින්න.
12ඔබ අඳින සළුවේ සතර කෙළවරේ දාවලු#22:12 දාවලු එනම් ටසල මසාගන්න.
ලිංගික අතවර පිළිබඳ නීති
13මිනිසෙක් බිරිඳක ගෙන, ඇය හා යහන් වැදුණු පසු, ඇය එපා කොට, 14“මා මේ කාන්තාව ආවාහ කර ගත්තා. එහෙත් මා ඇය වෙත ගිය කල, ඇගේ කන්‍යාභාවය පිළිබඳ සාක්ෂි, මට හමු නො වී ය” කියා ඇයට අපහාස කර, ඇගේ නම කැත කරන්නේ නම්, 15ඇගේ මව් පිය දෙපොළ ඇගේ කන්‍යාභාවය පිළිබඳ සාක්ෂි නගර දොරටුවේ#22:15 නගර දොරටුවේ එනම් නගර දොරටු ප්‍රජා පොළේ හිඳින වැඩිහිටියන් වෙත ගෙන ආ යුතු ය. 16එහිදී තරුණියගේ පියා වැඩිහිටියන් අමතා, “මගේ දියණිය මේ මිනිසාට මා විවාහ කොට දුන්නා. එහෙත් ඔහු ඇයට කැමති නෑ. 17දැන් ඔහු ඇයට අපහාස කරමින්, ‘ඔබේ දියණිය කන්‍යාවක් වගට සාක්ෂි, මට හමු නො විණැ’ යි කියයි. එහෙත් මෙන්න, මගේ දියණියගේ කන්‍යාභාවය පිළිබඳ සාක්ෂි!” යි කියා, ඇගේ මව් පියෝ පුර නගර වැඩිහිටියන් ඉදිරියේ රෙදි කඩ දිග හරිත්වා. 18එවිට වැඩිහිටියෝ වරදකාර මිනිසා අල්ලා, ඔහුට දඬුවම් කරත්වා. 19ඔවුහු රිදී ෂෙකෙල් සියයක් ඔහුට දඩ ගසා, ඒ මුදල තරුණියගේ පියාට දෙත්වා. මන්ද ඔහු ඉශ්‍රායෙල් කන්‍යාවකට නරක නාමයක් ගෙන දී තිබේ. ඈ දිගට ම ඔහුගේ බිරිඳ වන්නී ය. දිවි හිමියෙන් ඔහු ඇය දික්කසාද නො කළ යුතු ය.
20එහෙත් ඒ චෝදනාව සත්‍ය නම්, තරුණියගේ කන්‍යාභාවය පිළිබඳ සාක්ෂි සම්භ නො විණි නම්, 21ඇගේ පියාගේ නිවසේ දොරකඩ වෙත ඈ ගෙනෙන ලදුව, ඇගේ නගර වාසීහු ඇයට මැරෙන තුරා ගල් ගසත්වා. තම පිය සෙවණේ සිටියදී, වේශ්‍යාකම් කර, ඉශ්‍රායෙල්හි නින්දිතකමක් කර තිබේ. ඔබ අතරින් දුෂ්ටකම පහ කර දැමිය යුතු ය.
22යම් මිනිසෙක් අනෙකකුගේ බිරිඳක සමඟ සයනය කර අසු වුවහොත්, ඒ ස්ත්‍රිය සමඟ යහන් වැදි මිනිසාත්, ඒ ස්ත්‍රියත් යන දෙදෙනා ම මරා දැමිය යුතු ය. ඔබ මෙසේ ඉශ්‍රායෙල් වෙතින් දුෂ්ටකම පහ කර දැමිය යුතු ය.
23විවා ගිවිසි කන්‍යාවක් නගරයක් තුළදී මිනිසකුට මුණ ගැසී, ඔහු ඇය හා සයනය කරයි නම්, 24ඒ දෙදෙන ම එම නගර දොරටුව වෙත ගෙනවුත්, ඔවුන් මැරෙන තුරා ගල් ගැසිය යුතු ය. නගරයක් තුළ එය සිදුවීත්, පිහිට ඉල්ලා කෑ නො ගැසූ බැවින් තරුණිය ද අනෙකකුගේ බිරිඳක දූෂ්‍ය කළ බැවින්, ඒ මිනිසා ද මරා දැමිය යුතු ය. ඔබ මෙසේ, ඔබ අතරින් දුෂ්ටකම පහ කර දැමිය යුතු ය.
25එහෙත් විවා ගිවිසි තරුණියක ගම්බද පෙදෙසකදී මිනිසකුට මුණ ගැසී ඔහු ඇය දූෂ්‍ය කරයි නම්, ඒ දේ කළ මිනිසා පමණක් මරා දැමිය යුතු ය. 26තරුණියට කිසිවක් නො කළ යුතු ය. මරනු ලැබීමට වරදක් ඇය කර නැත. තම අසල්වැසියාට පහර දී මරා දැමූවකුගේ සිද්ධියට මෙය සමාන ය. 27මන්ද ගම් පෙදෙසේදී තරුණිය ඒ මිනිසාට හමු වූ කල, විවා ගිවිසි තරුණිය කෑ ගැසූ නමුදු, ඇය මුදා ගන්නට කිසිවකුත් එහි නො වූ බැවිනි.
28විවා ගිවිස නැති කන්‍යාවක මිනිසකුට හමු වී, ඔහු ඇය දූෂණය කළ විටෙක එය දැනගනු ලැබුවහොත්, 29ඔහු තරුණියගේ පියාට රිදී ෂෙකෙල් පනහක් ගෙවා, තරුණිය ආවාහ කොට ගත යුතු ය. මන්ද, ඔහු ඇය දූෂ්‍ය කළ බැවිනි. ඇය දික්කසාද කිරීමට දිවි හිමියෙන් ඔහුට නුපුළුවන.
30මිනිසෙක්, තම පියාගේ බිරිඳ ආවාහ කර නො ගත යුතු ය; ඔහු තම පියාගේ නග්නත්වය නිරාවරණ නො කළ යුතු ය.
موجودہ انتخاب:
ද්විතීය 22: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.