2 සාමුවෙල් 10

10
අම්මොන් පැරදවීම
1කලකට පසු අම්මොන්වරුන්ගේ රජු මිය ගියේ ය. ඔහු වෙනුවට ඔහුගේ පුත් හානූන් රජකමට පත් විය. 2එවිට දාවිත්, “හානූන්ගේ පියා මා සමඟ පක්ෂපාතීත්වයෙන් කටයුතු කළ පරිදි මම නාහාෂ්ගේ පුත්‍රයා සමඟ පක්ෂපාතීත්වයෙන් කටයුතු කරන්නෙමි” යි කීවේ ය. එබැවින් දාවිත්, හානූන්ගේ පියා ගැන ඔහු අස්වසන්නට දූත පිරිසක් ඔහු වෙත යැවී ය.
දාවිත්ගේ මිනිස්සු අම්මොන් දේශයට පැමිණියහ. 3එහෙත් අම්මොන් අධිපතීහු තම ස්වාමියා වූ හානූන් අමතා, “දාවිත් ඔබ වෙත සනසන්නන් එවීමෙන් ඔහු ඔබේ පියාට ගෞරව කරන්නේ යැයි ඔබ සිතනවා ද? දාවිත් ඔබ වෙත ඔවුන් එවා ඇත්තේ, පුරවරය ගැන විපරම් කර, ඔත්තු බලා, එය අල්ලා ගන්නට නො වේ දැ?” යි කීහ. 4එබැවින් හානූන් දාවිත්ගේ මිනිසුන් අල්ලා, හැම කෙනකුගේ යටි රැවුල් අඩක් බූ ගා, තට්ටම් දක්වා ඔවුන්ගේ හැඳිවත් කපා දමා, ඔවුන් යන්නට හැරියේ ය.
5දාවිත්ට ඒ වග දැන් වූ කල, ඔහු ඔවුන් මුණගැසෙන්නට මිනිසුන් යැවී ය. මන්ද ඔවුහු මහත් ලජ්ජාවට පත් ව සිටියහ. එබැවින් රජු, “ඔබේ රැවුල් වැවෙන තුරු යෙරිකෝවේ නැවතී, පසුව එන්නැ” යි දැන්වී ය.
6තමන් දාවිත්ට පිළිකුල් වූ වග අම්මොන්වරු දුටු කල, ඔවුහු බෙත්-රෙහෝබ්හි හා සෝබාහි අරාම්වරුන් වෙතින් පාබළ සෙබළු විසිදහසක් ද මාකාහි රජු සමඟ මිනිසුන් දහසක් ද ටෝබ් වෙතින් මිනිසුන් දොළොස් දහසක් ද කුලියට ගත්හ.
7දාවිත් ඒ වග ඇසූ කල, යෝවාබ් සමඟ මුළු යුධ හමුදාව පිටත් කර යැවී ය. 8අම්මොන්වරු පිටතට අවුත්, පුර දොරටු පිවිසුමෙහි සටනට පෙළ ගැසුණු අතර, සෝබාහි හා රෙහොබ්හි අරාම්වරු හා ටෝබ්හි හා මාකාහි මිනිස්සු එළිමහන් භූමියේ වෙන වෙනම සිටගත්හ.
9එවිට යෝවාබ්, තමාට එරෙහිව ඉදිරියෙන් හා පිටුපසින් වූ යුද්ධ සූදානම දැක, ඉශ්‍රායෙල් හේවායින්ගෙන් දක්ෂයින් තෝරා, අරාම්වරුන්ට එරෙහිව ඔවුන් පෙළ ගැස්වී ය. 10ඔහු සෙසු මිනිසුන් තම සහෝදර අබිෂයි යටතේ තබා, අම්මොන්වරුන්ට එරෙහිව ඔවුන් පෙළ ගැස්සවී ය. 11යෝවාබ්, කතා කරමින්, “අරාම්වරුන් මට වඩා බොහෝ බලවත් වුණොත්, මගේ උපකාරයට ඔබ ආ යුතුයි. එහෙත් අම්මොන්වරුන් ඔබට වඩා බොහෝ බලවත් වුණොත්, මම ඔබේ උපකාරයට එන්නම්. 12ශක්තිමත් ව සිටිමින්, අපි අපගේ ජනයා හා අපගේ දෙවියන්වහන්සේගේ පුරවර උදෙසා එඩිතර ව සටන් කරමු. ස්වාමින්වහන්සේ ස්වකීය ඇස් හමුවෙහි යහපත් ව පෙනෙන දේ කරන සේක්වා” යි පැවසී ය.
13ඉන්පසු යෝවාබ් හා ඔහු සමඟ වූ මිනිස්සු අරාම්වරුන්ට එරෙහිව සටනට ඉදිරියට ගිය කල, ඔවුහු ඔහු ඉදිරියෙන් පලා ගියහ. 14අරාම්වරුන් පලා යනු දුටු අම්මොන්වරු ද අබිෂයි ඉදිරියෙන් පලා ගොස්, පුරවරය තුළට වැදුණහ. එවිට යෝවාබ් අම්මොන්වරුන් හා සටන් කිරීමෙන් ආපසු හැරී, යෙරුසලමට ආවේ ය.
15ඉශ්‍රායෙල් අතින් තමන් පැරදුණු වග දුටු අරාම්වරු යළි සංවිධාන වූහ. 16හදද්එසෙර් යුප්‍රටීස් ගඟ#10:16 ගඟ හෙබ්‍රෙව් ගඟ එගොඩින් ද අරාම්වරුන් ගෙන්වා ගත්තේ ය. ඔවුහු හදද්එසෙර්ගේ හමුදාවේ අණ දෙන්නා වන ෂෝබක්ගේ නායකත්වය යටතේ හේලාම් දක්වා ගියහ.
17දාවිත්ට ඒ වග දැන් වූ කල, ඔහු මුළු ඉශ්‍රායෙල් එක් රැස් කොට, යොර්දානෙන් එතෙර ව, හේලාම් වෙත ගියේ ය. අරාම්වරු දාවිත්ට එරෙහිව යුද්ධ කිරීමට පෙළ ගැසී, ඔහු සමඟ සටන් කළහ. 18එහෙත් ඔවුහු ඉශ්‍රායෙල් වෙතින් පලා ගියහ. දාවිත් අරාම්වරුන්ගේ රථවල සිටි මිනිසුන් හත්සියයක් ද ඔවුන්ගේ පාබළ සෙබළුන්#10:18 සෙබළුන් සමහර ග්‍රීක පිටපත් සහ 1 ලේක 19;18 අනුව ය; හෙබ්‍රෙව් අසරු සෙබළුන් හතළිස් දහසක් ද මරා දමා, ඔවුන්ගේ හමුදාපති වූ ෂෝබක් ද තුවාල කළෙන්, ඔහු එහිදී මළේ ය. 19තමන් ඉශ්‍රායෙල් අතින් පරාජය වී සිටින වග දුටු හදද්එසෙර් යටතේ වූ සියලු රජවරු ඉශ්‍රායෙල්වරුන් හා සමඟි වී, ඔවුන්ට යටත් වූහ.
එබැවින් අරාම්වරු තවදුරටත් අම්මොන්වරුන්ට උපකාර කිරීමට භය වූහ.

موجودہ انتخاب:

2 සාමුවෙල් 10: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in