2 සාමුවෙල් 9
9
දාවිත් හා මෙෆීබොෂෙත්
1දාවිත් කතා කරමින්, “මා යොනාතාන් උදෙසා කරුණාව දක්වන පිණිස, සාවුල්ගේ වංශයේ කවරකු හෝ තවමත් ජීවත් ව සිටී දැ?” යි විමසී ය.
2සාවුල්ගේ ගෘහවාසී සේවකයකු වූ සීබා නැමැත්තෙක් සිටියේ ය. දාවිත් ඉදිරියට ඔහු කැඳවන ලදී. රජු ඔහු අමතමින්, “නුඹ සීබාදැ?” යි ඇසී ය.
“ඔබේ සේවකයා එසේ වෙතැ” යි ඔහු කීවේ ය.
3රජු කතා කරමින්, “මා විසින් දෙවියන්වහන්සේගේ කරුණාව දක්වන පිණිස සාවුල්ගේ වංශයට අයත් කිසිවකු නැති දැ?” යි ඇසී ය.
සීබා, රජුට පිළිතුරු දෙමින්, “යොනාතාන්ගේ පුතෙක් තවමත් සිටියි. ඔහුගේ පා දෙක ම කොර යැ” යි කීවේ ය.
4ඔහු කොහේදැයි? රජු ඇසී ය.
සීබා, පිළිතුරු දෙමින්, “ඔහු ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ නිවසේ සිටිතැ” යි කීවේ ය.
5දාවිත් රජු එබැවින් ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ නිවස වෙත පණිවුඩ යවා, ඔහු ගෙන්වා ගත්තේ ය.
6සාවුල්ගේ පුත්‍ර යොනාතාන්ගේ පුත් මෙෆීබොෂෙත් දාවිත් වෙත පැමිණ, නැමී, ඔහුට බුහුමන් දැක්වී ය.
දාවිත්, “මෙෆීබොෂෙත්” යි කීවේ ය.
“මෙන්න, මා ඔබේ සේවකයා” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
7දාවිත් ඔහු අමතමින්, “භය වෙන්න එපා; ඔබේ පියා, යොනාතාන් උදෙසා මා නිසැක ව ම ඔබට කරුණාව දක්වනවා. ඔබේ පියා වූ සාවුල්ට අයත් ව තිබූ සියලු ඉඩ කඩම් මා ඔබට යළි ලබා දෙනවා. ඔබ හැම විටෙක මගේ මේසයෙන් සංග්‍රහ විඳිනු ඇතැ” යි පැවසී ය.
8මෙෆීබොෂෙත් නැමී ගෞරව දක්වමින්, “මළ බල්ලකු වැනි මා ඔබගෙන් සැලකුම් ලබන්නට ඔබේ සේවකයා කවුරු දැ?” යි කීවේ ය.
9ඉන්පසු සාවුල්ගේ සේවක සීබා කැඳවූ රජු, “සාවුල්ටත්, ඔහුගේ පවුලටත් අයිති ව තිබූ හැම දේ මා නුඹේ හාම්පුතාගේ පුත්‍රයාට පවරා දුන්නා. 10නුඹත්, නුඹේ පුතුන් හා නුඹේ සේවකයින් ඔහු වෙනුවෙන් බිම වගාකොට, නුඹේ හාම්පුතාගේ පුත්‍රයාගේ අවැසිතා සඳහා අස්වනු ගෙන ආ යුතුයි. එහෙත් නුඹේ හාම්පුතාගේ පුත්‍රයා වන මෙෆීබොෂෙත් සැම කල් මගේ මේසයෙන් සංග්‍රහ විඳිනු ඇතැ” යි කීවේ ය. සීබාට පුතුන් පහළොස් දෙනෙක් ද සේවකයින් විසිදෙනෙක් ද සිටියහ.
11සීබා එවිට රජුට පිළිතුරු දෙමින්, “මගේ ස්වාමියා වූ රජ්ජුරුවන් තම සේවකයාට කරන්නට ය කියන කවරක් වුව ද, ඔබේ සේවකයා කරනු ඇතැ” යි කීවේ ය. මෙසේ මෙෆීබොෂෙත්, රජුගේ පුතකු පරිද්දෙන් දාවිත්ගේ මේසයේ සංග්‍රහ වින්දේ ය.
12මෙෆීබොෂෙත්ට මීකා නම් වූ යොවුන් පුතෙක් සිටියේ ය. සීබාගේ ගෘහ වාසීන් වූ සියල්ලෝ මෙෆීබොෂෙත්ගේ සේවකයින් වූහ. 13මෙෆීබොෂෙත් හැම විට රජුගේ මේසයෙන් සංග්‍රහ විඳි බැවින් යෙරුසලමේ වාසය කළේ ය. ඔහුගේ දෙපාදය ම කොර ව තිබුණේ ය.
موجودہ انتخاب:
2 සාමුවෙල් 9: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.