2 සාමුවෙල් 11
11
දාවිත්, ඌරියා හා බැත්ෂෙබා
1වසරේ වසන්ත සමයේ රජුන් යුද්ධයට පිටත් ව යන කාලයේ, දාවිත්, යෝවාබ් ද තම සේවකයන් ද ඉශ්‍රායෙල් මුළු හමුදාව ද පිටත් කර යැවී ය. ඔවුහු අම්මොන්වරුන් විනාශ කොට, රබ්බා වැටලූහ. එහෙත් දාවිත් යෙරුසලමේ නැවතී සිටියේ ය.
2එක් සවස් වරුවක තම යහනින් පිබිදුණු දාවිත්, රජගෙදර පියස්සේ සක්මන් කරද්දී, කාන්තාවක් ස්නානය කරන අයුරු පියස්සේ සිට දිටී ය. ඒ කාන්තාව ඉතා සුරූපී තැනැත්තියකි. 3දාවිත් ඇය ගැන විමසන පිණිස කෙනකු යැවී ය. “මැය, බැත්ෂෙබා නො වේ ද! ඒ එලියාම්ගේ දියණියයි; හිත්තීය ඌරියාගේ බිරිඳයි” යනුවෙන් ඒ මිනිසා පැවසී ය. 4දාවිත් පණිවුඩකරුවන් යවා, ඇය ගෙන්වූ කල, ඈ ඔහු වෙත ආවා ය. ඔහු ඇය සමඟ නිදි වැදුණේ ය. ඒ වන විට ඇය සිටියේ තම මාසික අපවිත්‍රතාවෙන් පවිත්‍ර වෙමින් ය. ඉන්පසු ඈ තම නිවසට ආපසු ගියා ය. 5එම කාන්තාව ගැබ් ගත්තා ය. “මම ගැබ්බර ව සිටිමි” යි ඈ දාවිත්ට දන්වා යැව්වා ය.
6එවිට දාවිත්, යෝවාබ්ට පණිවුඩ යවමින්, “හිත්තීය ඌරියා මා වෙත එවන්නැ” යි දැන්වී ය. එබැවින් යෝවාබ්, දාවිත් වෙත ඌරියා පිටත් කළේ ය. 7ඌරියා තමන් වෙත ආ කල, දාවිත් ඔහු අමතමින්, යෝවාබ්ට කෙසේ ද, සෙසු සෙබළුන් කෙසේ ද, යුද්ධය කරන්නේ කෙසේ ද යන්න ඇසී ය. 8ඉන්පසු ඌරියා ඇමතූ දාවිත්, “ඔබේ ගෙදරට යන්න. ඔබේ පා සෝදාගෙන, පහසු ගන්නැ” යි කීවේ ය. ඌරියා රජ මැදුරින් පිටත් ව ගියේ ය. රජුගෙන් වූ ත්‍යාගයක් ද ඔහුට පසුපසින් යැවිණ. 9එහෙත් ඌරියා, තම හාම්පුතාගේ සේවක සියල්ලන් සමඟ රජගෙදර පිවිසුමේ නිදා ගත්තේ ය. ඔහු තම ගෙදරට ගියේ නැත.
10“ඌරියා ගෙදර ගියේ නැතැ” යි දාවිත්ට දැන් වූ කල, ඔහු ඇමතූ දාවිත්, “නුඹ දුර බැහැරක ඉඳන් ආවා නො වේ ද? එහෙම නම් ගෙදර නො ගියේ මන්දැ?” යි ඇසී ය.
11ඌරියා දාවිත්ට පිළිතුරු දෙමින්, “ගිවිසුම් කරඬුව ද ඉශ්‍රායෙල් හා යූදා ද ඉන්නේ කූඩාරම්වල; මගේ හාම්පුත් යෝවාබ් හා මගේ ස්වාමියාණන්ගේ මිනිසුන් එළිමහනේ කඳවුරුවල; එහෙම නම් කන්නටත්, බොන්නටත් මගේ බිරිඳ හා සයනය කරන්නටත් මා මගේ ගෙදර යන්නේ කොහොම ද? ඔබේ ජීවිතය පා, ඔබ ජීවත් වන වග සැබෑ සේ ම, මට එහෙම දෙයක් කරන්නට බැහැ” යි කීවේ ය.
12එවිට දාවිත්, ඌරියා අමතමින්, “තව දවසක් මෙහි නැවතී සිටින්න. හෙට ඔබ ආපසු යවන්නෙමි” යි කීවේ ය. එබැවින් ඌරියා ඒ දවසත්, ඊළඟ දවසත් යෙරුසලමේ නැවතී සිටියේ ය. 13දාවිත්ගේ ඇරියුමින් ඔහු දාවිත් සමඟ කෑවේ ය; බීවේ ය; දාවිත් ඔහු වෙරිමත් කළේ ය. එහෙත් සවස් වූ කල්හි ඔහු තම හාම්පුතාගේ සේවකයින් අතරේ තම යහනේ නිදා ගැනීමට පිටතට ගියේ ය; ඔහු ගෙදර ගියේ නැත.
14පසු දා උදෑසන දාවිත්, යෝවාබ්ට ලිපියක් ලියා ඌරියා අත එය යැවී ය. 15ඔහු එහි ලියා යැව්වේ, “සටන දරුණු ව පවතින තැනක ඉදිරි පෙළෙහි ඌරියා සිටුවන්න; පහර කා, ඔහු මැරී වැටෙන්නට හැර එතැනින් පසු බසින්න” යනුවෙනි.
16එබැවින් යෝවාබ් එම පුරවර වටලා සිටියදී, වඩාත් ප්‍රබල සතුරන් සිටිතැයි ඔහු සිතූ තැනක ඌරියා සිටුවී ය. 17එපුර වාසීහු පිටත් ව අවුත්, යෝවාබ්ට එරෙහිව සටන් වැදුණු කල, දාවිත්ගේ හේවායින්ගෙන් ඇතමෙක් මැරී වැටුණහ. හිත්තීය ඌරියා ද මැරුම් කෑවේ ය.
18යෝවාබ් යුද්ධය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් දාවිත්ට දන්වා යැවී ය. 19ඔහු පණිවුඩකරුට උපදෙස් දෙමින්, “යුද්ධය ගැන සියලු තොරතුරු රජ්ජුරුවන්ට දන්වා නිම වූ පසු, 20රජ්ජුරුවන් කෝපයෙන් ඇවිළ, නුඹට මෙසේ කියතහොත්, ‘සටන් වදින්නට නුඹලා පුරවරයට ඒ තරම් ළං වුණේ ඇයි? පවුරේ සිට ඔවුන් හී ගස් විඳිනු ඇතැයි නුඹලා දැන සිටියේ නැති ද? 21යෙරුබ්බෙෂෙත්ගේ පුත් අබිමෙලෙක් මැරුවේ කවුරු ද? ඔහු මරා දමන පිණිස තේබේස්හි කාන්තාවක් පවුරේ සිට ඇඹරුම් අත්ගලක් ඔහු පිට හෙළුවා නො වේ ද? ඇයි ඒ තරම් පවුරට ළං වුණේ?’ යි කියාවි. ඔහු ඔබෙන් එසේ ඇසුවහොත්, එවිට ඔබ, ‘ඔබේ සේවක හිත්තීය ඌරියා ද මැරුණා’ යි ඔබ ඔහුට කිය යුතු යැ” යි කීවේ ය.
22එවිට පණිවුඩකරුවා පිටත් ව ගොස්, තමා අත යෝවාබ් කියා යැවූ සියලු පුවත් දාවිත්ට සැල කළේ ය. 23පණිවුඩකරුවා දාවිත් අමතමින්, “ඒ මිනිස්සු අප පරදවමින් අපට එරෙහිව එළිමහනට පිටතට ආවා. අපි නගර දොරටු පිවිසුම දක්වා ම ඔවුන් ආපසු පලවා හැරියා. 24එවිට දුනුවායෝ පවුරේ ඉඳන් ඔබේ සේවකයින්ට හී ගස් විද්දා; රජුගේ සේවකයින් ඇතැම් දෙනෙක් මැරුණා. තවද ඔබේ සේවක හිත්තීය ඌරියා ද මළා” යි කීවේ ය.
25එවිට දාවිත් පණිවුඩකරුවා අමතමින්, “යෝවාබ්ට මෙසේ කියන්න: ‘මේ කාරණය ඔබගේ ඇස් ඉදිරිපිට දොම්නසක් නො වේවා! අසිපත එකකු නසා දමන්නාක් මෙන් අනෙකා ද නසා දමයි. පුරවරයට එරෙහි ප්‍රහාරය දැඩි කොට, එය විනාශ කර දමන්න.’ යෝවාබ් දිරිමත් කිරීමට එසේ කියන්නැ” යි පැවසී ය.
26තම සැමියා මළ පුවත ඌරියාගේ බිරිඳට සැල වූ කල, ඈ තම සැමියා වෙනුවෙන් ශෝක වූවා ය. 27ශෝක වීමේ කාලය ගෙවුණු පසු, දාවිත් තම නිවසට ඇය ගෙන්වා ගත්තේ ය. මෙසේ ඈ ඔහුට බිරිඳ වූවා ය. ඈ ඔහුට පුතකු බිහි කළා ය. එහෙත් දාවිත් කර තිබූ දේ ස්වාමින්වහන්සේ අප්‍රසන්න කරවී ය.
موجودہ انتخاب:
2 සාමුවෙල් 11: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.