2 සාමුවෙල් 1

1
සාවුල්ගේ මරණින් පසු
1සාවුල්ගේ මරණින් පසු, දාවිත් අමලෙක්වරුන් පරදා ආපසු පැමිණ, සික්ලග්හි දවස් දෙකක් නැවතී සිටියේ ය. 2තුන් වන දවසේ මෙන්න, සාවුල්ගේ කඳවුරේ සිට මිනිසෙක් තම හැඳිවත් ඉරාගෙන, හිසේ ධූලි සහිත ව පැමිණියේ ය. ඔහු දාවිත් ඉදිරියට පැමිණි කල, ඔහුට ප්‍රණාමය දක්වමින්, වැඳ වැටුණේ ය.
3එවිට දාවිත්, “ඔබ එන්නේ කොහේ සිට දැ?” යි ඔහුගෙන් ඇසී ය.
“ඉශ්‍රායෙල් කඳවුරේ සිට මා බේරී ආවා” යි ඔහු ඔහුට කීවේ ය.
4දාවිත් ඔහු අමතමින්, “කොහොම ද එහි තත්වය, මට කියන්නැ” යි කීවේ ය.
ඔහු පිළිතුරු දෙමින්, “මිනිස්සු සටනින් පලා ගියා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මැරී වැටී ගියා. සාවුල් සහ ඔහුගේ පුත් යොනාතානුත් මියැදුණා” යි කීවේ ය.
5එවිට දාවිත් තමාට එසේ කී තරුණයා අමතමින්, “සාවුල් හා ඔහුගේ පුත් යොනාතාන් මැරුණු වග ඔබ දන්නේ කොහොම දැ?” යි ඇසී ය.
6එවිට ඔහු සමඟ කතා කළ තරුණයා කතා කරමින්, “මා අහම්බෙන් ගිල්බෝව කන්දට ආවා. එවිට සාවුල් ඔහුගේ හෙල්ලය මත ඇලවී සිටියා. එවිට ම මෙන්න! යුද්ධ රථ හා අසරුවන් ඔහුට ළං වී එමින් සිටියා. 7ඔහු පසු පස හැරී බැලූ කල මා දැක, මට අඬගැසුවා. ‘මම මෙතැනැ’ යි මා කීවා.
8“ ‘නුඹ කවුරු දැ?’ යි ඔහු මගෙන් ඇසුවා.
“ ‘මා අමලෙක් ජාතිකයෙක්’ කියා මා කීවා.
9“එවිට ඔහු මට කතා කොට, ‘මා ළඟ සිට මා මරනු! මරණ වේදනා මා වෙළාගෙන; ඒත් පණ තවමත් මා අල්ලාගෙන’ යැයි කීවා.
10“එබැවින් මා ඔහු ළඟ සිට ඔහු මැරුවා. මන්ද ඔහු වැටී සිටි අන්දමට යළි ජීවත් විය නො හැකි වග මා දැන ගත්තා. ඔහුගේ හිසේ වූ ඔටුන්නත්, ඔහුගේ බාහුවේ වූ පළඳනාවත් ගෙන, ඒවා මා ස්වාමින් වෙත රැගෙන ආවා” යි කීවේ ය.
11එවිට දාවිත් තමන් හැඳිවත් අල්ලා, ඒවා ඉරා දැම්මේ ය. ඔහු හා සමඟ සිටි මිනිස්සු ද ඒ දේ ම කළහ. 12ඔවුහු ශෝකවෙමින්, වැලපෙමින් සවස දක්වා නිරාහාර ව වුන්හ. එසේ කළේ සාවුල් ද ඔහුගේ පුත් යොනාතාන් ද ස්වාමින්වහන්සේගේ හමුදාව ද ඉශ්‍රායෙල් වංශය ද කඩුවෙන් වැටී ගොස් සිටි බැවින් ඔවුන් උදෙසා ය.
13දාවිත් තමාට එම කතා කළ තරුණයා අමතමින්, “නුඹ එන්නේ කොහේ සිට දැ?” යි ඇසී ය.
ඔහු පිළිතුරු දෙමින්, “මා විදේශික අමලෙක්වරයකුගේ පුතෙක්” යැයි කීවේ ය.
14එවිට දාවිත්, “ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන් නැති කර දැමීමට නුඹේ අත එසවීමට තරම් නුඹ බය නැති වූයේ කෙසේ දැ?” යි ඔහුගෙන් ඇසී ය.
15ඉන්පසු දාවිත්, තරුණයන්ගෙන් කෙනකුට කතා කොට, “යන්න, ඔහු ගසා හෙළන්නැ” යි කීවේ ය. ඔහු, ඔහුට ගසා, හෙළා දැමී ය; ඔහු මළේ ය. 16එවිට දාවිත්, “නුඹේ ලේ නුඹේ ම හිස මත වේවා! මන්ද මා ‘ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන් මරා දැම්මා’ යි නුඹ කී කල, නුඹට එරෙහිව නුඹේ ම මුවින් සාක්ෂි දී ඇතැ” යි ඔහුට කීවේ ය.
දාවිත්ගේ විලාප ගීයක්
17ඉන්පසු දාවිත් මෙම විලාප ගීය සාවුල් හා ඔහුගේ පුත් යොනාතාන් උදෙසා ගැයී ය. 18මෙම දුන්නෙහි විලාපය යූදා ජනයාට උගන්වන ලෙස ද ඔහු නියෝග කළේ ය. අන්න! යාෂාර්ගේ පොතේ එය ලියවී ඇත:
19“නුඹගේ තේජස#1:19 නුඹගේ තේජස හෙවත් කුරංග මුවකු එම්බා ඉශ්‍රායෙල්, නුඹේ කඳු මුඳුනේ ඝාතනය වී ඇත.
අහෝ බලවතුන් වැටී ගිය හැටි!
20“ගාත්හි එය නො පවසන්න.
අෂ්කෙලොන් වීදිවලදී එය ප්‍රකාශ නො කරන්න.
නැතහොත් පිලිස්ති දූවරුන් ප්‍රමෝද වනු ඇත.
චර්ම-අඡේදිතයන්ගේ දූවරුන් ප්‍රීති වනු ඇත.
21“එම්බා ගිල්බෝව කඳු;
පිනි හෝ වැසි නුඹ පිට නො වැටේවා!
පූජාවට ගැනෙන පල දරන කෙත්වත් නො වේවා. මන්ද
බලවතුන්ගේ පලිහ, එහිදී දූෂ්‍ය කෙරිණ.
සාවුල්ගේ පලිහ, තෙලින් තවත් ඔප නො දැමේ.
22“මරනු ලැබූවන්ගේ ලෙයින් ද
බලවතුන්ගේ මේදයෙන් ද වෙතින්
යොනාතාන්ගේ දුන්න, ආපසු හැරුණේ නැත;
සාවුල්ගේ කඩුව සෑහීමට පත් නො වී, ආපසු ආවේ නැත.
23සාවුල් හා යොනාතාන්
ජීවත් වූයේ ප්‍රේමයෙනි, සෙනෙහසිනි;
ජීවිතයේදී හෝ මරණයේදී ඔවුන් වෙන් කරනු ලැබුවේ නැත.
ඔවුහු රාජාලීන්ට වඩා ජවසම්පන්න වූහ.
සිංහයින්ට වඩා බලසම්පන්න වූහ.
24“එම්බා ඉශ්‍රායෙල් දූවරුනි,
අලංකාර රතු සළු පිළියෙන් නුඹලා සැරසූ,
රන් අබරණයෙන් නුඹලාගේ ඇඳුම් විචිත්‍ර කර වූ
සාවුල් උදෙසා වැලපෙන්න.
25“යුද්ධ සංග්‍රාමය මධ්‍යයේ අහෝ බලවතුන් වැටී ගිය හැටි!
නුඹලාගේ උස් තැන් පිට යොනාතාන් මැරී, වැතිර සිටී.
26මම ඔබ ගැන ශෝක වන්නෙමි, යොනාතාන් මා සොහොයුර,
ඔබ මට ප්‍රේමණීය ව සිටියෙහි ය.
නුඹේ ආදරය මට චමත්කාරජනක ය.
ස්ත්‍රීන්ගේ ආදරය ඉක්මවා ලන්නකි.
27“අහෝ බලවතුන් වැටී ගිය හැටි!
යුද්ධයේ අවි වැනසී ගිය හැටි!”

موجودہ انتخاب:

2 සාමුවෙල් 1: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in