2 සාමුවෙල් 2

2
යූදාහි රජවීම
1මෙයින් පසු දාවිත් ස්වාමින්වහන්සේගෙන් විචාරමින්, “යූදා නගරවලින් එකකට මා යන්න දැ?” යි ඇසී ය.
“යන්නැ” යි ස්වාමින්වහන්සේ ඔහුට උත්තර දුන් සේක.
“මා කොතැනකට යන්න දැ?” යි දාවිත් ඇසී ය.
“හෙබ්‍රොන් වෙත” යැයි උන්වහන්සේ පැවසූ සේක.
2එබැවින් දාවිත් තම භාර්යාවන් දෙදෙනා සමඟ, යෙස්රෙයෙලීය අහිනොවම් ද කර්මෙලීය නාබාල්ගේ බිරිඳ ව සිටි අබිගායිල් ද සමඟ එහි ගියේ ය. 3දාවිත් තමා සමඟ වූ මිනිසුන් ද ගෙන ගියේ ඔවුන්ගේ නිවැසියන් ද සමඟිනි. ඔවුහු හෙබ්‍රොන් නගරවල පදිංචි වූහ. 4ඉන්පසු යූදා ජනයා පැමිණියහ. එහිදී ඔවුහු යූදා වංශයේ රජු වශයෙන් දාවිත් ආලේප කළහ.
“සාවුල් භූමදාන කරන ලද්දේ යාබේෂ්-ගිලියාද් වාසීන් විසිනැ” යි ඔවුහු දාවිත්ට කී විට, 5දාවිත් යාබේෂ්-ගිලියාද් මිනිසුන් වෙත පණිවුඩකරුවන් යවමින්, ඔවුන්ට මෙසේ දැන්වී ය: “ඔබගේ ස්වාමියා වූ සාවුල් භූමදාන කරමින්, ඔබ ඔහුට දක්වන ලද මේ කරුණාව නිසා ස්වාමින්වහන්සේ නුඹලාට ආශිර්වාද කරන සේක්වා! 6දැන් ස්වාමින්වහන්සේ නුඹලාට කරුණාව හා විශ්වසනීයත්වය දක්වන සේක්වා! නුඹලා ඒ දේ කළ බැවින් මමත් නුඹලාට එම ප්‍රසාදය ම දක්වමි. 7එබැවින් දැන් සවිමත් ව, එඩිතර ව සිටින්න. මන්ද නුඹලාගේ ස්වාමියා වූ සාවුල් මිය ගිය නමුදු, යූදා වංශය තමන්ගේ රජු කොට මා ආලේප කර ඇත.”
දාවිත් සහ සාවුල්ගේ වංශ අතර යුද්ධය
8එහෙත් නේර්ගේ පුත් අබ්නේර් වන සාවුල්ගේ හමුදාවේ අණ දෙන්නා සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් ගෙන, මහනයිම් වෙත අවුත්, 9ගිලියාද්, අෂූරිවරුන් හා යෙස්රෙයෙල් ද එප්‍රායිම් හා බෙන්යමින් ද යන වශයෙන් මුළු ඉශ්‍රායෙල්හි රජකමට ඔහු පත් කළේ ය.
10සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් ඉශ්‍රායෙල් රාජ්‍ය පාලනයට පත් වන විට හතළිස් වියැති විය. ඔහු වසර දෙකක් රජකම් කළේ ය. එසේ වුව ද යූදා වංශය දාවිත් අනුව ගියහ. 11දාවිත්, හෙබ්‍රොන්හි දී යූදා වංශයට රජකම් කළ කාල-පරාසය, හත් අවුරුදු හය මාසයකි.
12නේර්ගේ පුත් අබ්නේර්, සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ගේ මිනිසුන් ද කැටිව, මහනයිම් සිට ගිබෙයොන් වෙත ගියේ ය. 13සෙරූයාගේ පුත් යෝවාබ්, දාවිත්ගේ මිනිසුන් සමඟ පිටත් ව ගොස්, ගිබෙයොන් පොකුණ ළඟදී ඔවුන් මුණගැසුණේ ය. එක් කණ්ඩායමක් පොකුණේ එක් පැත්තක ද අනෙක් කණ්ඩායම පොකුණේ අනෙක් පැත්තේ ද වාඩි ගත්හ.
14එවිට අබ්නේර්, යෝවාබ්ට කතා කොට, “තරුණයින් කීප දෙනෙක් ඉදිරියට අවුත්, අප ඉදිරිපිට තරඟ කරත්වා!” යි කී ය.
යෝවාබ් ද, “ඔවුන් එසේ කරත්වා” යි කී ය.
15මෙසේ ඔවුහු නැගිට, එතැනින් යද්දී ගණන් කරනු ලැබූ අය බෙන්යමින් වෙතින් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් උදෙසා දොළොස් දෙනෙකි. දාවිත්ගේ මිනිසුන් දොළොස් දෙනෙකි. 16එවිට එක් එක් මිනිසා තම විරුද්ධවාදියාගේ හිසින් ගෙන, තම අසිපත තම විරුද්ධවාදියාගේ ඇලයට බැස්සවී ය. මෙසේ ඔවුහු එක් ව වැටුණහ. එබැවින් ගිබෙයොන්හි එම ස්ථානය හෙල්කත්-හස්-සුරීම්#2:16 හෙල්කත්-හස්-සුරීම් එනම් පිහිවල කෙත නොහොත් විරුද්ධකම්වල කෙත යැයි නම් කෙරිණි.
17ඒ දවසේ සටන ඉතා බිහිසුණු විය. අබ්නේර් හා ඉශ්‍රායෙල් මිනිස්සු, දාවිත්ගේ මිනිසුන් අතින් යටත් කරන ලදහ.
18යෝවාබ්, අබිෂයි හා අසාහෙල් යන සෙරූයාගේ පුත්‍රයින් තිදෙන ම එහි වූහ. අසාහෙල් වනයේ කුරංග මුවකුගේ වැනි ජව වේගී පා ඇත්තෙකි. 19අසාහෙල්, අබ්නේර් ලුහුබඳිමින්, ඔහු පසු පස්සේ ම ගියේ ය. ඔහු අබ්නේර් පසු පස ගියේ දකුණටවත්, වමටවත් නො හැරීම ය. 20අබ්නේර් පිටුපස හැරී බලා, “අසාහෙල් මේ නුඹ දැ?” යි ඇසී ය.
“ඔව් මේ මම යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
21එවිට අබ්නේර් ඔහු අමතමින්, “නුඹේ දකුණට හෝ වමට හෝ හැරී, තරුණයින්ගෙන් එකකු අල්ලාගෙන, ඔහුගේ ආයුධ පැහැර ගනින් යැ” යි කීවේ ය. එහෙත් අසාහෙල් ඔහු ලුහුබැඳීමෙන් ඉවත හැරුණේ නැත.
22අබ්නේර් යළිත් අසාහෙල්ට අවවාද කළේ ය. “මා ලුහුබැඳීමෙන් වෙනතක හැරෙනු! මා නුඹට ගසා බිම හෙළන්නේ කුමට ද? ඉන්පසු මා නුඹේ සහෝදර යෝවාබ්ගේ මුහුණ බලන්නේ කෙසේ දැ?” යි කීවේ ය.
23එහෙත් ලුහුබැඳීමෙන් ඉවත හැරීම, අසාහෙල් ප්‍රතික්ෂේප කළේ ය. එබැවින් අබ්නේර් තම හෙල්ල මිටෙන් ඔහුගේ බඩට ඇන්නේ ය. හෙල්ලය ඔහුගේ පිටෙන් එළියට පැන්නේ ය. ඔහු වැටී, එතැන ම මළේ ය. අසාහෙල් වැටී මැරුණු තැනට පැමිණි හැම කෙනෙක් ම එතැන නැවතුණහ.
24එහෙත් යෝවාබ් හා අබිෂයි, අබ්නේර් ලුහුබැඳ ගියහ. හිරු බැස යන කල ඔවුහු ගිබෙයොන් කතරට යන මගෙහි වූ ගීයා අසල පිහිටි අම්මාහ් හෙල වෙත පැමිණියහ. 25බෙන්යමින් මිනිස්සු අබ්නේර් පසු පස යළි එක් රැස් වී, එක් කණ්ඩායමක් ව හෙල මුදුනේ සූදානමින් සිටගත්හ.
26එවිට අබ්නේර්, යෝවාබ්ට හඬ නගා, “අසිපතින් සදහට ම වනසාලිය යුතු ද? මෙහි අවසානය කටුකත්වය වග නුඹට නො වැටහේ ද? තමන්ගේ සහෝදරයින් ලුහුබැඳ යාම නවතන ලෙස නියෝග දීමට නුඹ තව කොපමණ පමා වෙනවා දැ?” යි කීවේ ය.
27යෝවාබ් පිළිතුරු දෙමින්, “නුඹ කතා නො කළා නම්, දෙවියන්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මිනිසුන් හෙට උදේ වන තුරු දිගට ම තම සහෝදරයින් ලුහුබැඳ යන්නට තිබිණැ” යි කීවේ ය.
28එවිට යෝවාබ් හොරණෑව හැඬවී ය. මිනිස්සු සැවොම නැවතුණහ. ඔවුන් තවදුරටත් ඉශ්‍රායෙල්වරුන් ලුහුබැන්දේ නැත. තවත් සටන් කළේ ද නැත.
29අබ්නේර් හා ඔහුගේ මිනිස්සු මුළු රැය පුරා අරාබා හරහා ගමනේ යෙදුණහ. ඔවුහු යොර්දානෙන් එතෙර වී, මුළු උදය ම ගමන් කොට, මහනයිම් වෙත පැමිණියහ.
30යෝවාබ් ඉන්පසු අබ්නේර් ලුහුබැඳීමෙන් ආපසු හැරී, තමන්ගේ මිනිසුන් සියලු දෙනා එක් රැස් කළ විට, අසාහෙල් හැර දාවිත්ගේ මිනිසුන්ගෙන් තවත් දහනව දෙනකු අඩු වග දැනගන්නා ලදී. 31එහෙත්, අබ්නේර් සමඟ වූ බෙන්යමින්වරුන් තුන්සිය හැටදෙනකු දාවිත්ගේ මිනිසුන් විසින් මරා දමා තිබිණ. 32ඔවුහු අසාහෙල් ගෙන ගොස්, බෙත්ලෙහෙම්හි වූ ඔහුගේ පියාගේ සොහොනෙහි භූමදාන කළහ. ඉන්පසු යෝවාබ් හා ඔහුගේ මිනිස්සු රැය මුළුල්ලේ ගමනේ යෙදී, දවස උදා වෙද්දී හෙබ්‍රොන් වෙත ළඟා වූහ.

موجودہ انتخاب:

2 සාමුවෙල් 2: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in